ඉන්දීය මහ මැතිවරණයේ පළමු අදියර අවසන්

ඉන්දීය මහ මැතිවරණයේ පළමු අදියර අවසන්

by Staff writer 12-04-2019 | 11:09 AM
COLOMBO (News 1st) - ලෝකයේ දැවැන්තම ඡන්ද විමසීම වන ඉන්දීය මහ මැතිවරණයේ පළමු අදියර ඊයේ අවසන් විය. අදියර 7ක් යටතේ සිදු කෙරෙන මහ මැතිවරණයේ පළමු අදියර ප්‍රාන්ත 20ක ඡන්ද කොට්ඨාස 91ක පැවැත්වුණු බව සඳහන් ය. බොහෝ ප්‍රදේශවලින් ලක්ෂ සංඛ්‍යාත ඡන්ද දායකයින් සහභාගී වූ බවත්, ඉන් වැඩිම ප්‍රතිශතයක්, එනම් 81%ක ඡන්ද දායකයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඊසානදිග තෛයිපුර ප්‍රාන්තයෙනි. අමේදි ඡන්ද කොට්ඨාසයෙන් රාහුල් ගාන්ධි ඡන්දය ඉල්ලා සිටි අතර සෝනියා ගාන්ධි රේබරේලි ඡන්ද කොට්ඨාසයෙන් තම නාමයෝජනා භාර දී තිබිණි. බලයේ සිටින නරේන්ද්‍ර මෝදි මෙවරත් දෙවැනි වරට ජයග්‍රහණය කිරීමේ අරමුණෙන් වාරණාසි ඡන්ද කොට්ඨාසයෙන් තරග වදී. පළමු අදියර අවසන් වූයේ ඇතැම් ප්‍රාන්තවල ප්‍රචණ්ඩ ක්‍රියා ද වාර්තා වෙමිනි. මෙහිදී ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ පක්ෂ දෙකක ආධාරකරුවන් අතර ඇති වූ ගැටුමකින් දෙදෙනෙක් මිය ගියහ. කෙසේ නමුත් ඉන්දීය ඡන්ද කොමසාරිස් පවසා ඇත්තේ, ප්‍රචණ්ඩ ක්‍රියා කිහිපයක් හැරුණුකොට බොහෝ ප්‍රදේශවල ඡන්ද විමසීම් ඉතා සාමකාමී ලෙස පැවැත්වුණු බව ය. ඡන්ද දායකයින් කෝටි 90ක් එනම් ලෝක ජන ගහණයෙන් 10%ක් මෙවර ඉන්දීය මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති. මෙම ඡන්ද විමසීම මැයි 19 වන දා දක්වා පැවැත්වීමට නියමිත අතර ප්‍රතිඵල ගණනය කෙරෙන්නේ මැයි 23 වන දා ය. ඉන්දීය පාර්ලිමේන්තුව හෙවත් ලෝක් සභාවේ බහුතර බලය දිනා ගැනීමට නම් එහි ආසන 543 න් 272ක් ජය ගත යුතු ය.