ඉරාන ජාතිකයින් 9 දෙනා යළි රිමාන්ඩ්

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයින් යළි රිමාන්ඩ්

by Staff writer 11-04-2019 | 12:35 PM
COLOMBO (News 1st) : කුඩා නෞකාවකින් ශ්‍රී ලංකාවට හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයින් 9 දෙනා ලබන 23 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා ය. එදිනට ඉරාන භාෂා පරිවර්තකයෙකු අධිකරණය හමුවට කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ප්‍රධාන මහේස්‍ත්‍රාත්වරිය අධිකරණ රෙජිසට්‍රාර්වරියට දැනුම් දුන්නේ ය. මේ අතර ශ්‍රී ලංකාවට හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී බේරුවල මුහුදේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 8 දෙනා, ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා ය. ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට නියෝග කළේ, සැකකරුවන් භාරයේ තිබී අත්අඩංගුවට ගත් හෙරොයින් සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාව සහ දුරකතන විශ්ලේෂණ වාර්තා කඩිනමින් කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. ඊට අමතරව සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කඩිනමින් අවසන් කර, අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට නියෝග කළේ ය.