"හෙට සිට විදුලි කප්පාදුවක් නැහැ"

"හෙට සිට විදුලි කප්පාදුවක් නැහැ"

by Staff writer 10-04-2019 | 8:33 PM
COLOMBO (News 1st) : අද රාත්‍රියේ සිට විදුලිය කැපීමක් සිදු නොවන බවට විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සහතික වී තිබේ. "වචනයක් දෙන්නේ ඒක බොරු කරන්න නෙවෙයි ඒක ක්‍රියාත්මක කරන්න.අපිට ලැබුණු ගිනි බෝලය අද සම්පුර්ණයෙන්ම නිරාකරණය කරලා සැලස්මක් අනුව වැඩ කරන්නේ. මේ ප්‍රකාශය කරලා තියෙන්නේ නිවාඩුවට නෙවෙයි. අද ඉදන් විදුලි කප්පාදුවක් නැති කිරීම. අද රෑ 12ට පසුව 11 වෙනිදා උදේ ඉදන් එවැනි තත්ත්වයක් ඇති නොවන ආකාරයට කටයුතු කිරීම තමයි අපි ප්‍රකාශ කරලා තියෙන්නේ" ලබා දී ඇති විසඳුම් විදුලි පාරිභෝගිකයාගේ බිලට බලපාන්නේ දැයි, මාධ්‍යවේදීන් එහිදී අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ය. "මං භාර ගත්ත අවස්ථාවේ කිව්වේ ගෘහස්ත වැඩි කරන්නේ නෑ. ඒක අඩු කරනවා මිසක්.කිසිසේත්ම වැඩි කරන්න ඉඩ දෙන්නේ නෑ.." අඛණ්ඩ විදුලි සැපයීම සහතික කිරීම සඳහා මෙගාවොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක් මිලදි ගැනීමට ඊයේ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව ඇග්‍රිකෝ ඉන්ටර්නැෂනල් ප්‍රොජෙක්ට් සමාගමෙන් පල්ලෙකැලේ සහ ගාල්ල ග්‍රිඩ් උප පොළවලට කිලෝවොට් එකක් රුපියල් 30 යි සත 20 බැගින් මෙගවොට් 34 ක් මිලදී ගැනෙනු ඇති. අල්ටකා ඕල්ටර්නේටිව් සොලුයුෂින් සමාගමෙන් මහියංගනය ග්‍රිඩ් උප පොළට මෙගාවොට් 10 ක් කිලෝවොට් එකක් රුපියල් 30 යි සත 58 බැගින් ද, පොළොන්නරුව ග්‍රිඩ් උපපොළට මෙගාවොට් 8 ක් කිලෝවොට් එකක් රුපියල් 30 සත 63 බැගින් ද මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. වී පවර් සමාගමෙන් හම්බන්තොට උප පොළට මෙගාවොට් 24 ක් මිලදී ගන්නේ කිලෝවොට් එකක් රුපියල් 28 සත 43 බැගිනි. එම සමාගමින් හොරණ ග්‍රිඩ් උපපොළට මෙගාවොට් 24 ක් කිලෝවොට් එකක් රුපියල් 28 සත 70 බැගින් මිලදී ගැනීමට ද කැබිනට් අනුමැතිය ලැබි තිබේ. මේ අතර අඛණ්ඩ විදුලි සැපයුමක් වෙනුවෙන් ගත හැකි කෙටි කාලීන මධ්‍ය කාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවිය. කමිටුවේ සාමාජිකයින් වන්නේ මංගල සමරවීර, රවී කරුණානායක, කබීර් හෂීම් හා සාගල රත්නායක යන අමාත්‍යවරුන් ය. https://www.youtube.com/watch?v=yrMpRzHQcmY