උමාඔය ව්‍යාපෘතියේ ජල කාන්දුවට තවමත් පිළියම් නැහැ..

උමාඔය ව්‍යාපෘතියේ ජල කාන්දුවට තවමත් පිළියම් නැහැ...

by Staff writer 10-04-2019 | 8:32 PM
COLOMBO (News 1st) : උමාඔය ව්‍යාපෘතියේ කැනීම් අතරතුර ඇති වූ ජල කාන්දුවට තවමත් නිසි පිළියම් ලැබී නොමැත. නිවුස් ෆස්ට් ඒ පිළිබඳව යළිත් පසු විපරමක් කළේ ය. උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ, ප්‍රධාන උමං මාර්ගයේ දිග කිලෝමීටර් 15.2ක් වන අතර ප්‍රධාන උමග ජලාශය වෙත සම්බන්ධ කිරීමට කිලෝමීටර් 1.8 ක පමණ දුරක් කැණීමට ඉතිරිව තිබේ. පුහුල්පොළ සිට කරඳගොල්ල දක්වා සිදුවන මෙම කැනීම්වලදී , පළමු වරට ජල කාන්දුවක් වාර්තා වූයේ 2015 වසරේ දෙසැම්බර් මාසයේදීයි. කැනීම් යන්ත්‍රය යළි පිටතට ගැනීමේ අපහසුතා ඇති වන නිසා ව්‍යාපෘතිය අඛණ්ඩව සිදු කෙරිණ. ජර්මානු විශේෂඥ කණ්ඩායමකගේ තාක්ෂණික සහාය ඇතිව ජල කාන්දුව අවම කිරීමට ගත් උත්සාහය ද මෙතෙක් සාර්ථක වී නොමැත. වසර 3කට අධික කාලයක් වරින් වර මෙලෙස ජල කාන්දුවීම් සිදුවූ අතර එවක ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා පැවසුවේ , තත්ත්පරයකට ලීටර් 800ක පමණ ජල කාන්දුවක් මෙහි සිදුවන බවයි .   කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් තුළ ප්‍රදේශවාසීන් මුහුණ පා සිටින අසීරුතාව සුළුපටු නොවේ. ජල අර්බුදයට විසඳු ලෙස අඹදණ්ඩේගම, මකුල්ඇල්ල හා හාලිඇල ප්‍රදේශවල ජල ව්‍යාපෘති 3 ක් ආරම්භ කෙරුණු නමුත් මේ වන විට ද ඒවා ඇත්තේ මූලික අදියරේයි. සමස්ත ව්‍යාපෘතියේ කටයුතුවලින් 92% ක් අවසන් කර ඇති අතර ,භූගත විදුලි බලාගාරයේ ප්‍රධාන කටයුතු සම්පූර්ණයෙන් අවසන් ය. https://www.youtube.com/watch?v=YLl1JuYNegk