ඉන්ධන මිල ඉහළ යයි ද?

ඉන්ධන මිල ඉහළ යයි ද?

by Staff writer 10-04-2019 | 10:04 AM
COLOMBO (News 1st) - ඉන්ධන මිල සමාලෝචන කමිටුව අද පස්වරුවේ මුදල් අමාත්‍යංශයේදී රැස්වේ. අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, පසුගිය මාසය තුළ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිලෙහි වෙනස් වීම් සැලකිල්ලට ගෙන මෙරට වෙළෙඳපොළේ ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මෙම කමිටුව පත් කර ඇති බව ය. පසුගිය මාසය තුළ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල වෙනස් වී ඇත්තේ ඩොලර් 2ත් 3ත් අතර අගයකිනි. කෙසේ වෙතත් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් ශක්තිමත් වීම හමුවේ එම වෙනස් වීම මෙරට පාරිභෝගික ජනතාවට අවම බලපෑමක් ඇති වන ලෙස ඉන්ධන මිලට ගැලපීම අද සිදු කරනු ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේ ය. පසුගිය මාර්තු 10 වන දා බ්‍රිතාන්‍ය වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක් අලෙවි වූයේ, ඩොලර් 65.74ක් ලෙස ය. අමෙරිකානු වෙළෙඳපොළේ එය ඩොලර් 56.06කට අලෙවි විය. අද නිකුත් කළ බොර තෙල් මිල ගණන් අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක් ඩොලර් 70.83ක මිලකට අලෙවි කෙරෙන අතර අමෙරිකානු වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක් අලෙවි වන්නේ, ඩොලර් 64.10ක අගයකට ය.