පාවෙන සුර්ය බලාගාරයක් ඉදිකිරීමට අත්සන් තැබේ

මෙගාවොට් සියයක පාවෙන සුර්ය බලාගාරයක් ඉදිකිරීමේ ගිවිසුමකට අත්සන් තැබේ

by Staff writer 09-04-2019 | 6:00 PM

COLOMBO (News 1st) - මෙගාවොට් සියයක පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරීම සඳහා වන සහයෝගීතා ගිවිසුමට අද අත්සන් තබා තිබේ.

ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා සහ කැනේඩියානු වාණිජ සභාවේ ආසියානු කලාපීය අධ්‍යක්ෂවරිය මෙම ගිවිසුමට අත්සන් තැබුවා ය. මෙම බලාගාරය ඉදිකිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය හා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයයි. සහයෝගීතා ගිවිසුමට අනුව මහවැලි කලාපයන්ට අයත් ජලාශ මත පාවෙන සුර්ය බලාගාර ඉදිකිරීමට නියමිතව තිබේ. ඒ අනුව මේ වසරේ නොවැම්බර් මාසයට පෙර ප්‍රථම මෙගාවොට් 10 ජාතික පද්ධතියට එක්කිරීම සඳහා මාදුරු ඔය ජලාශය කේන්ද්‍ර කර ගනිමින් පළමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනු ඇති. ඉන් අනතුරුව 2020 සැප්තැම්බර් අවසන් වන විට මෙගාවොට් සියයක සම්පුර්ණ ධාරිතාව ඉදිකර අවසන් කිරීමට යෝජිත වේ. සුර්ය පැනල හා විදුලිය ගබඩා කළ හැකි විද්‍යුත් කෝෂ යොදාගෙන සුර්යය බලශක්තිය ගබඩා කරන ව්‍යාපෘතියක් ලෙස කැනේඩියානු සෝලර් ආයතනයේ සහයෝගයෙන් මෙම ව්‍යපෘතිය ක්‍රියාවට නැංවෙනු ඇත.