ආණ්ඩුවේ බොරුව...

by Staff writer 09-04-2019 | 9:30 PM

COLOMBO (News 1st) - ජනතාව විවිධ පීඩාවන් විඳිද්දී ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රටේ ආර්ථිකය ගැන විවිධ ප්‍රකාශ කරමින් සිටි.

ඔවුන් කරන ප්‍රකාශ සැබැවින්ම සිදු ව තිබේ ද? මේ විමසා බැලීම ඒ පිළිබඳවයි... අග්‍රාමාත්‍ය, රනිල් වික්‍රමසිංහ,
අපිට අයිති මේ වරා‍ය අපි මේ හවුල් ව්‍යාපාරයට ගිවිසුම යටතේ දෙනවා කුලියට. අපිට දැන් ඒ මුදල් ටික දැම්මම ලැබෙනවා. ඒ නිසා තව මාස 6 ක් වෙනකොට හම්බන්තොට වරායට ගෙවනවා කියන කිසිම ප්‍රශ්නයක් නෑ. ඒකේ මුල් පියවර හැටි‍යට අපිට ‍ඩොලර් මිලියන 300 ක චෙක් පතක් ලැබෙනවා. ඒ ලංකාවට ලැබෙන්නේ.
2017 දෙසැම්බර් 09 වැනි දා හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමේ ගිවිසුම ක්‍රියාත්මක කරමින් අග්‍රාමාත්‍යවරයා එසේ පැවසුවත් දැන් සිදු ව ඇත්තේ කුමක් ද? පසුගිය සති අන්තයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළ පරිදි සිදු ව ඇත්තේ හම්බන්තොට වරාය ණය මුදල වරාය අධිකාරියෙන් මහා භාණ්ඩාගාරයේ ගිණුම්වලට මාරුවීම පමණයි. හම්බන්තොට වරාය ගනුදෙනුවේදී වරාය ඉදිකිරීම සඳහා ලබා ගත් ණය, සී එම් පෝර්ට් නැමැති චීන සමාගම කොටස් ලෙස පවරා ගැනීමට නියමිතව තිබුනත් එය සිදුවී නැත. දැන් සිදුවෙමින් ඇත්තේ 2014 සිට රජය වරාය ඉදිකිරීමට අදාළ ණය ගෙවමින් සිටීමයි. අවසානයේ උදාවී ඇත්තේ හම්බන්තොට වරායත් අපට අහිමිවී ඇති අතර ණය ගෙවීම සඳහාත් සහනයක් ලැබී නොමැති තත්ත්වයකි. මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්,
මේ ගනුදෙනු පිටිපස්සේ වැඩියෙන්ම තියෙන්නේ වංචාව. අපිට වරායක් නැති වුණා අවුරුදු 99 කට. මොනවටද අපි නැති කරගත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 1200 කටත් 1300 කටත් අතර මිලකට‍. දැන් මේ සැහැල්ලු දුම්රිය පද්ධතිය අරන් බලන්න. ඩොලර් මිලියන 1800යි. ඒක හදන්න තව ත් ණයක් ගනන්වා. මේ වරායක් හදාගෙන ගෙවන්ඩ බැරුව විකුණපු රට.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය, මංගල සමරවීර
2005 - 2014 අතර කාලය තුළ මුළු ණය බරතාවය 233% කින් ඉහළ ගියා. ඇත්තෙන්ම කියනව නම් මීතොටමුල්ල කුණු කන්දටත් වඩා ලොකු ණය කන්දක් අපිට බාරදීලා තමයි රාජපක්ෂලා ගෙදර ගියේ. 2019 දී පමණක් විදේශ ණය ගෙවීමට පමණක් රුපියල් ට්‍රිලියන 3.2 කට ආසන්න මුදලක් ලංකාවට අවශ්‍ය වෙනවා. මේ මුදලින් 82% ක් රාජපක්ෂ සමයේ ණය ගෙවන්න සිදු වෙලා තියනවා.
මූල්‍ය ප්‍රකාශනවලට අනුව 2005 රටේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 2142 ක්. 2014 රාජපක්ෂ පාලනය පරායට පත්වනවිට ණය ප්‍රමාණය රුපියල් බිලියන 6721 ක් දක්වා වැඩිවී තිබුණි. මෙම දස අවුරුදු කාල සීමාවේ රටේ ණය බර වැඩිවීම රුපියල් බිලියන 4579 ක්. 2015 ආණ්ඩු වෙනසත් සමග ණය බර රුපියල් බිලියන 7830 දක්වා වැඩි වූ අතර පසුගිය වසරේ දෙසැම්බර් 31 වන විට ණය ප්‍රමාණය රුපියල් බිලියන 11994 ක් දක්වා වැඩිවී තිබුණි. මේ අවුරුදු 4 තුළ රටේ ණය වැඩි වූ ප්‍රමාණය රුපියල් බිලියන 4164 ක්. මුදල් අමාත්‍යවරයා පවසන ආකාරයට රුපියල් බිලියන 3200 ක් ණය ආපසු ගෙවීමට සිදු ව තිබේ. නැවත ලබාගෙන එම ණය මුදල් ගෙවා දැමුවත් තව ත් විශාල මුදල් ප්‍රමාණයක් ණයවී ඇති ආකාරය මේ සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලි නොවන්නේ ද? අවසානයේ ආණ්ඩු පාලනය කවුරුන් සිදු කලත් සිදුවී ඇත්තේ ජනතාව ණය කරුවන් කිරීම නොවේ ද? අග්‍රාමාත්‍ය, රනිල් වික්‍රමසිංහ,
අපි දැන් මෑතකදී ඉන්දියාවට අයත් තෙල් පිරිපහදුවකට සහ ශ්‍රී ලංකාවට අයත් සිමෙන්ති කර්මාතයකට සහ එල් එන් ජී බලාගාරයකට මුල් ගල් තැබුවා. මේ වන තෙක් අපිට කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ. අපිට ඕනේ මේක ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරන්න.
ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට රට පත්කරන්නට සූදානම් වුවත් සැබවින්ම සිදු ව ඇත්තේ කුමක් ද? වොක්ස්වැගන් සමාගම වාහන එකලස් කිරීමට කුලියාපිටියේ ආයෝජනයක් සිදු කරන බවට පුරසාරම් දෙඩුවත් අවසානයේ එම සමාගම කියා සිටියේ තමන් එවැනි ආයෝජනයක් සිදු නොකරන බවයි. ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ ඉදිකරන බව පවසමින් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කළ උත්සාහ තව ත් කදිම උදාහරණයකි. ගූගල් ලූන් මගින් රටටම වයි ෆයි ලබාදී තාක්ෂණික විප්ලවයක් ගැන අනාවැකි පළ කලත් තවමත් එය සිහිනයක් වී ඇත. මෑතකදී හම්බන්තොට ආයෝජන කලාපයේ තෙල් පිරිපහදු ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර ආයෝජනයට ඕමාන රජය ද හවුල්වන බව පැවසුවත් ඕමානය එය ප්‍රතික්ෂේප කර තිබුණි. දැන් හෙළිවී ඇත්තේ ඉන්දියාවේ කුප්‍රකට ව්‍යාපාරික හා දේශපාලඥයෙකුවන එස් ජගත්රාක්ෂගන් නමැත්තා මේ ව්‍යපෘතිය පිටුපස සිටින බවයි. තමන් මේ සමාගමෙන් ඉවත්වී ඇති බවත් බිරිඳ තවමත් කොටස් මිලදී ගෙන නැති බවත් මේ ඉන්දීය දේශපාලකයා ද ප්‍රකාශ කර තිබුණි. මෙවැනි ආයෝජන මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනටමත් සිටින අවදානම් තත්ත්වය අධිඅවධානමක් දක්වා ඉහළ යා හැකි බව ට්‍රාන්ස් පේරන්සි ඉන්ටර් නැෂනල් ආයතනය අනතුරු අඟවා ඇත. මේවාට විශ්වසනීය පිළිතුරක් ලබාදෙනවා වෙනුවට දැන් හම්බන්තොටට තව ත් පිරිපහදුවක් ගෙන එන බවට පුරසාරම් දොඩමින් සිටි. ඩොලර් බිලියන 14 ක ආයෝජනයක් බව කියන මේ ව්‍යාපෘතියේ ආයෝජකයා බදුවංචා පිළිබඳව කුප්‍රකට පැනමා ලේඛනවල නම සඳහන් සුජී එනර්ජි ඉන්ටර් නැෂනල් නමැති සමාගමකි. ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්නට යන්නේ මෙවැනි ව්‍යපෘති හරහා ද? විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය, අජිත් පී පෙරේරා
අඛණ්ඩව පැය 24 ම විදුලිය දෙන්න මහත් වූ කැපවීමෙන් කටයුතු කරනවා, ඉතාම බරපතළ නොහිතන සුනාමි වාගේ අවාසනාවන්ත දෙයක් නොවුනොත්, පැය 24 ම විදුලිය දෙනවා.
පැය 24 ම විදුලිය දෙන බවට පුරසාරම් දෙඩුවත් සැබෑ තත්ත්වය දැන් රටේ ජනතාව හොඳින් අත්විදිමින් සිටිති. ගත වූ වසර 4 ක කාලයේ කිසිදු මහාපරිමාණ විදුලි බලාගාරයක් ඉදිකිරීමට ආණ්ඩුව සමත්වූයේ නැත. මුදල් අමාත්‍ය, මංගල සමරවීර,
ඔන්න දැන් රුපියල තව ත් වැටුණා තව ත් කඩා වැටුණා කියි කියි දාපු අයට කියනවා පුළුවන් නම් අද රෑට කරුණාකරලා හෙඩ් ලයින් එක හැටියට දාන්න. ලංකාවේ රුපියල ලෝකයේ වඩා හොඳින් විනිමය මුදල් වර්ග 3 න් එකක් බවට මේ වෙනකොට පත්වෙලායි තියෙන්නේ
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ, මහචාර්ය සිරිමල් අබේරත්න,
මේකෙන් අදහස් වෙන්නේ නෑ. ඩොලරය හැමදාම දැන් ඉස්සරහටත් ශක්තිමත් වෙනවායි කියන එක අදහස් වෙන්නේ නැහැ. දිගුකාලීනව ඩොලරයට සාපේක්ෂව අපේ මුදල් ඒකකය ශක්තිමත් වෙන්ඩ නම් අපේ අපනයන සීඝ්‍රයෙන් වර්ධනය වියයුතු වනවා ඒවාගේම විදේශ ඝෘජු ආයෝජන ගලා ඒම වර්ධනය විය යුතු වනවා. තාවකාලිකව ශක්තිමත්වීම සිදුවෙන්නේ තාවකාලිකව එහාට මෙහාට ගලා එන යන විදේශ විනිමය වෙනස් වීම් නිසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී,
ඇත්තටම ආර්ථිකය කඩා වැටිලා ද? වර්ධනය අඩාලවෙලා තියෙනවා නමුත් වැඩිවෙමින් තියෙනවා. උද්ධමනය පාලනය කරලා තියෙනවා. උද්ධමනය පිළිබඳ ගැටලුවක් නෑ වර්ධනය මන්දගාමීයි නමුත් වර්ධනය වෙනවා. කොහෙද ආර්ථිය කඩා වැටිලා තියෙන්නේ?
මහ බැංකු අධිපතිවරයා මෙසේ පැවසුවත් දැන් සිදු ව ඇත්තේ කුමක් ද? අද පුවත්පත් වාර්තාකර තිබුනේ මේ වසරේ 4% ක් ලෙස අපේක්ෂා කළ ආර්ථික වර්ධන වේගය 3.5% ක් දක්වා අඩුවනු ඇතැයි ලෝක බැංකුව අපේක්ෂා කරන බවයි. ගිය වසරේ 3.9% ලෙස අපේක්ෂා කළ ආර්ථික වර්ධනය අවසානයේ 3.2% දක්වා අඩුවිය. මේ අතර රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය දා පාර්ලිමේන්තුවට වාර්තා කළේ, ආර්ථික වර්ධනය පිළිබඳව ආණ්ඩුව එකිනෙකට පරස්පර සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන බවයි. මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්,
මේක අපි විතරක් බලපානව නම් කමක් නෑ. මොකද අපියි ඒකට වගනියන්න ඕනේ. අපියි අපිව පාලනය කරන්න මේ වාගේ මෝඩ පාලකයෝ තෝර ගත්තේ. ඒත් මේකේ අපරාදයක් වෙන්නේ අපේ නුපන් දරුවන්ට පවා මේකෙන් දුක් විඳින්න සිද්ධ වෙනවා. මේකේ ණය ගෙවන්න තියෙන්නේ තව අවුරුදු 30 - 40 කින්. නුපන් පරපුරක්ම තියෙනවා. ඒ නුපන් පරපුර මේ ගන්න තීන්දු තීරණ ගන්න ක්‍රියාවලියට සම්බන්ධ නෑ.