රත්ගම ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

රත්ගම ඝාතන සිද්ධියේ සැකකරුවන් 17 දෙනා යළි රිමාන්ඩ්

by Staff writer 08-04-2019 | 4:43 PM

COLOMBO (News 1st) - රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 15 දෙනා ඇතුළු සැකකරුවන් 17 දෙනා ලබන 22 වැනි දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවට ඔවුන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ඝාතන සිද්ධියට අදාළ පැමිණිල්ල මෙහෙය වන අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් කළා ය. ඇය කියා සිටියේ, සියලුම සැකකරුවන් මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඔවුන්ට ඇප ලබාදීමට විරුද්ධ බවයි. මේ අතර අපරාධ සඳහා යොදා ගත් වාහන මුදා හරින ලෙසට විත්තියේ නීතිඥවරුන් කළ ඉල්ලීමට ද රජයේ නීතිඥවරිය විරෝධය පළ කළා ය. නීතිඥවරිය කියා සිටියේ, එම වාහන සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව තවමත් ලැබී නොමැති නිසා වාහන මුදා හැරීමට විරුද්ධ වන බවයි. රස පරීක්ෂකවරයාගේ වාර්තාව ලැබුණු පසු වාහන මුදා හැරීමට එකඟ වන බව ඇය සඳහන් කළා ය. ඉකුත් ජනවාරි 23 වැනි දා එලෙස පැහැරගෙන ගොස් ඝාතනය කෙරුණේ රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ අසේල මංජුල කුමාර සහ රසික චින්තක නමැති ව්‍යාපාරිකයින් දෙදෙනාය.