by Staff writer 06-04-2019 | 9:18 PM
COLOMBO (News 1st) - මෑතකදී මුල්ගල් තැබූ හම්බන්තොට තෙල් පිරිපහදු සංකීර්ණය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු ගැටලුවක් මතු වී නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ආසියා - යුරෝපා දේශපාලන සමුළුවේ තෙවන හමුවේදී ය.
කොළඹ, දකුණ සහ උතුරු වරායන් තවදුරටත් සංවර්ධනය කළ යුතු ආකාරය පිළිබඳව මේ වන විට ආසියානු සංවර්ධන බැංකුව සහ ජපානය සමග එකතු වී සැලසුම් කරමින් සිටින බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා හම්බන්තොට තෙල් පිරිපහදු සංකීර්ණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ උදම් ඇනුවත්, අදාළ ව්‍යාපෘති සම්බන්ධයෙන් ගැටලුකාරී හා ආන්දෝලනාත්මක කරුණු රැසක් මේ වන විට රට හමුවේ අනාවරණය වී අවසන් ය.
අද ඒ පිළිබඳව තවත් තොරතුරු අනාවරණය විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනයට සමගාමීව ඕමාන හා ඉන්දීය ආයෝජනයක් ලෙස හුවා දක්වමින් මුල්ගල් තැබුණු මිරිජ්ජවිල තෙල් පිරිපහදු සංකීර්ණයේ ආයෝජනය සම්බන්ධයෙන් පාර්ශව රැසක් ගැටලු මතු කළහ.
ඒ කිසිවකට නිසි ප්‍රතිචාර දැක්වීම පසෙකලා නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා තවත් තෙල් පිරිපහදු ආයෝජනයක් පිළිබඳව පසුගියදා ප්‍රකාශ කළේ ය.
ඔහු පවසන මෙම තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට සූදානම් වන්නේ, සිංගප්පූරුවේ පිහිටි සුජී එනර්ජි ඉන්ටර්නැෂනල් නම් සමාගමකි.
අමෙරිකානු ඩොලර් බිලියන 14ක ආයෝජනයක් සිදු කිරීමට සැරසෙන සුජී එනර්ජි ඉන්ටර්නැෂනල් සමාගමේ මව් සමාගම වන්නේ ඉන්දුනීසියාවේ පී.ටී සුජී සමාගම බව අපි ඊයේ අනාවරණය කළෙමු.
එය කුප්‍රකට පැනමා ලේඛන මගින් හෙළිදරව් වූ සමාගමක් බව ද අප කළ අනාවරණයේ සඳහන් ය.
එවන් පසුබිමක, ඉන්දුනීසියානු පී.ටී සුජී සමාගම මෙරට බැඳුම්කර වංචාව හා සමාන ඉන්දුනීසියානු වංචාවකට සම්බන්ධ බවට මේ වන විට තොරතුරු වාර්තා වේ.
විදෙස් වාර්තාවල සඳහන් වන්නේ, එම සමාගමේ 2014 වසරේ වැඩිම කොටස් ප්‍රමාණයකට හිමිකම් කියූ එඩ්වඩ් සොයාත් ජායා නම් පුද්ගලයා ඉන්දුනීසියාවේ විශ්‍රාම වැටුප් අරමුදලේ මුදල් වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අයෙකු බව ය.
විශ්‍රාම වැටුප් අරමුදලේ කොටස් ගනුදෙනුවලින් ලබා ගත් මුදල් මෙරට නව තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ආයෝජකයාගේ මව් සමාගම වන පී.ටී. සුජි සමාගමේ ආයෝජනය කර ඇති අතර, ඒ හරහා ඉන්දුනීසියාවට සිදුව ඇති පාඩුව අමෙරිකානු ඩොලර් මිලිනය 42කට අධික ය.
ඔහුට වසර 18ක සිර දඬුවම් නියම කරන ලෙස ද රජයේ පාර්ශවය එරට අධිකරණයෙන් ඉල්ලීම් කර ඇති බව සඳහන් ය.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය, පසුගිය 24 වන දා මුල්ගල් තැබුණු තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දුන්නේ, එම ව්‍යාපෘතිය හරහා මුදල් විශුද්ධිකරණය කිරීමේ අවදානමක් මතුව ඇති බව ය.
ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණයට අරමුදල් සපයන අළු ලේඛනයෙන් බැහැර වීමට දරණ උත්සහයට මෙය සෘණ බලපෑමක් ඇති කරන බව ද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.
එවන් පසුබිමක රජය තවත් කුප්‍රකට ආයෝජකයෙකු සමග තවත් ආයෝජනයකට මුල පිරීමට සැරසෙන්නේ මුදල් විශුද්ධිකරණයට අරමුදල් සපයන අළු ලේඛනයට ශ්‍රී ලංකාව ඇතුළත් කළ ජාත්‍යන්තර මූල්‍ය කාර්ය සාධන බලකායේ නියෝජිතයින් පිරිසක් ලබන මාසයේ මෙරට සංචාරය කිරීමට නියමිත පසුබිමක ය.
මේ හරහා සිදු වන්නේ රට අවදානමක හෙළීම නොවේ ද?
වොක්ස් වැගන් ගනුදෙනුව, බැඳුම්කර වංචාව වැනි සිද්ධීන් හේතුවෙන් මෙවන් ආයෝජනවලදී ජනතාවට මතු වන සැකය සාධාරණ බව බුද්ධිමතුන් තේරුම් ගත යුතු ය.