සේවය හැර ගිය හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

සේවය හැර ගොස් සිටින යුද හමුදා සාමාජිකයින්ට සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලයක්

by Staff writer 06-04-2019 | 4:21 PM
COLOMBO (News 1st) - සේවය අතහැර ගොස් සිටින යුද හමුදා සාමාජිකයින් සඳහා නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලයක් යුද හමුදා මූලස්ථානය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, ලබන 22 වන දා සිට මැයි මස 10 වන දා දක්වායි. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්දේශය මත මෙම පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කළ බව ය. නිවාඩු නොමැතිව සේවය අත්හැර ගොස් සිටින සියලු ම යුද හමුදා සාමාජිකයින් අංශ 04කට සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව ද බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ ය. ලබන 22 වන දිනට නොකඩවා දින 21කට වැඩි කාලයක් නිවාඩු නොමැතිව සිටින නිලධාරීන් හා 22 වන දිනට නොකඩවා මාස 6ක් හෝ දින 180කට වැඩි කාලයක් නිවාඩු නොමැතිව සිටින කොමිෂන් නොලත් නිලධාරීන්ට නීත්‍යානුකූලව ඉවත් වීමේ අවස්ථාව හිමි වනු ඇති. නිවාඩු නොමැතිව මාස 6කට වැඩි කාලයක් නොපැමිණ සිටින එහෙත් නැවත යුද හමුදා සේවයට එක්වීමට කැමති පුද්ගලයින්ට නැවත එක්වීමට අවස්ථාව හිමි වන බව ද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ ය.