මධුෂ් ගොනු කළ පෙත්සම සලකා බැලීම ලබන 14

මෙරටට පිටුවහල් කිරීම වළක්වන්නැයි ඉල්ලා මධුෂ් ගොනු කළ පෙත්සම සලකා බැලීම ලබන 14

by Staff writer 06-04-2019 | 3:47 PM
COLOMBO (News 1st) - මෙරටට පිටුවහල් කිරීම වළක්වන ලෙස ඉල්ලා ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඩුබායි අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම ලබන 14 වන දා විභාගයට ගැනීමට නියමිත ය. ඔහු පෙත්සමින් පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් ඔහුට ජීවිත අවදානමක් පවතින බව ය. මේ අතර අදාළ පෙත්සම සලකා බැලීමෙන් පසු ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සොයා බැලෙනු ඇති. ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ් ඇතුළු කිහිප දෙනෙකු මෙරට සිදු වූ මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටින අපරාධකරුවන් බව පොලීසිය පවසයි. ඔවුන් මෙරටට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමට නියමිත ය. ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සමග ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත් වූ පිරිසෙන් මේ වන විට දිවයිනට පිටුවහල් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 13කි.