කිරි ගොවියා කබලෙන් ළිපට ඇද දැමූ ගනුදෙනුව

කිරි ගොවීන් කබලෙන් ළිපට: ආන්දෝලනාත්මක කිරි දෙනුන් ආනයනය තවදුරටත් සිදු කිරීමට බලධාරීන් උත්සහයක

by Staff writer 06-04-2019 | 7:38 PM
COLOMBO (News 1st) - මෙරට පශු සම්පත් කර්මාන්තය දැඩි ආගාධයකට හෙළූ ආන්දෝලනාත්මක කිරි ගවයින් ගනුදෙනුවට වගකිව යුත්තේ කවුද? ඉන් තවදුරටත් මෙරට පශු සම්පත් ක්ෂේත්‍රයට ඇති වන බලපෑම වැළැක්වීමට පියවර නොගන්නේ ඇයි? කිරි ගොවීන් කබලෙන් ළිපට ඇද දැමූ කිරි දෙනුන් 20000ක් ආනයන ව්‍යාපෘතිය පිළිබඳව නිව්ස්ෆස්ට් පළමු අනාවරණය සිදු කළේ 2014 වසරේදී ය. ඒ, අදාළ ප්‍රශ්න ගත ව්‍යාපෘතියට එවකට රජය ප්‍රවිෂ්ඨ වීමත් සමග ය. අදාළ අනාවරණයන් තහවුරු කරමින් මේ වන විට අදාළ ගැටලුව ජාත්‍යන්තර මාධ්‍යවල ද අවධානයට යොමුව තිබේ. ඔස්ට්‍රෙලියානු ජාතික ගුවන් විදුලිය හා රූපවාහිනිය වන ඔස්ට්‍රේලියා බොරෝඩ්කාස්ටින් කෝපරේෂන්හි වාර්තාවල මෙන්ම ඔස්ට්‍රේලියාවේ ෆාර්ම් වීක්ලි වෙබ් අඩවිය අප වසර ගණනාවක් තිස්සේ අනාවරණ කළ තොරතුරු මේ වන විට තහවුරු කර තිබේ. එහි සඳහන් වන්නේ, විශාල මුදලක් ගෙවා ලබා ගත් මෙම කිරි ගව දෙනුන් මිය යාම හා මන්දපෝෂණයෙන් පෙළීම නිසා ඇතැම් ගොවීන් සියදිවි හානි කර ගැනීමේ තත්ත්වයට පත්ව ඇති බව ය. මේ සියල්ල පිළිබඳව නෑසූ කන් සේ සිටි මෙරට බලධාරීන් නිසා අද වන විට ආනයනික කිරි දෙනුන් ලබා ගත් ගොවීන් දැඩි පීඩාවකට ලක්ව තිබේ. කිරි ගොවීන් කබලෙන් ළිපට ඇද දැමූ මේ ගනුදෙනුවට 2014 වසරේදී මුළ පිරෙන්නේ, ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හා ඔස්ට්‍රේලියාවේ වෙලාඩ් රූරල් එක්ස්පෝර්ට් සමාගම අතර අත්සන් තැබුණු ගිවිසුමකුයි. වත්මන් රජය යටතේ කිරි දෙනුන් ආනයන ව්‍යාපෘතියට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වන්නේ, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව හා විගණකාධිපතිවරයා ලබා දුන් නිර්දේශ කිසිවක් ගණන් නොගනිමිනි. ඒ අනුව 2017 හා 2018 වසරවල අවස්ථා දෙකකදී මෙරටට කිරි දෙනුන් 5000ක් ආනයනය කළ අතර අදාළ ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 73.9ක විදේශ ණයක් ද ලබා ගෙන තිබේ. එපමණක් නොව, ගිවිසුම් ප්‍රකාරව සෙසු කිරි දෙනුන් ආනයනය සඳහා මේ වන විට රුපියල් කෝටි 132ක අත්තිකාරමක් ද ගෙවා අවසන්. රට ණය කරමින් කිරි ගොවීන් කබලෙන් ළිපට ඇද දමමින් දේශපාලනඥයින්ගේ හා නිලධාරීන්ගේ සාක්කු පුරවන අදාළ ව්‍යාපෘතියේ ගිවිසුමේ මුල් පිටපත මේ වන විට ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය සතුව ද නොමැති වීම විමතියට කරුණකි. ඉකුත් වසර 4ක කාලය තුළ දූෂණ වංචා පිළිබඳව සොයන ජනාධිපති කොමිසම හමුවේ මේ බව අනාවරණය වූයේ, එම අමාත්‍යංශ අතිරේක ලේකම් කේ.ඩී. ආරියපාල මහතා ඉකුත් බදාදා පැමිණ ලබා දුන් සාක්ෂි අනුව ය. කොමිසමේ නියෝග අනුව ඔහු ඊට පසුදින අදාළ ආන්දෝලනාත්මක ගිවිසුමේ පිටපතක් කොමිසම හමුවේ තබන්නේ, ඔස්ට්‍රේලියාවේ වෙලාඩ් රූරල් එක්ස්පෝර්ට් සමාගමේ දේශීය නියෝජිතයා වන ෆෝ සයිඩ් ඉංජිනේරින් නමැති සමාගමෙන් ඉල්ලා ගනිමිනි. මෙරට පශූ සම්පත් ක්ෂේත්‍රයට කණ කොකා හැඬ වූ ප්‍රශ්නගත කිරි දෙනුන් ආනයනය හරහා ඉතිරි කිරි දෙනුන් 15000 මෙරටට ගෙන්වීමට දූෂිත දේශපාලනඥයින්ට, නිලධාරීන්ට ඉඩ දී බලා සිටිය යුතු ද?