කබලෙන් ළිපට වැටුණු කිරි ගොවියා....

ආනයනික ගැබ්බර දෙනුන් මිලදී ගෙන කබලෙන් ළිපට වැටුණු කිරි ගොවියා...

by Sagarika Chathumali 06-04-2019 | 2:23 PM
COLOMBO (News 1st) : රටේ කිරි නිෂ්පාදනයට දායක වීමේ අරමුණින් ආනයනික කිරි දෙනුන් මිලදී ගත් මෙරට කිරි ගොවීහු මේ වන විට දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයකට මුහුණ දී සිටිති. ඒ ඔස්ට්‍රේලියාවෙන් සහ නවසීලන්තයෙන් ආනයනය කළ ගැබ්බර දෙනුන් මෙරට ගොවිපොළ තුළදී විවිධ රෝගාබාධයන්ට ලක්ව මිය යාම හේතුවෙනි. මින් සැලකිය යුතු ගැබ්බර දෙනුන් සංඛ්‍යාවක් මිය ගොස් ඇත්තේ, මෙරටට ආගන්තුක රෝග හේතුවෙනි. මෙම ගැබ්බර දෙනුන් මිලදී ගැනීමේදී ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සහ අනෙකුත් වගකිව යුතු පාර්ශවයන් සිය වගකීම නිසි ලෙස ඉටු නොකිරීම හමුවේ මේ වන විට මුදල් වැය කර දෙනනු මිලදී ගත් ගොවීන්ට සිදුව ඇත්තේ, කබලෙන් ළිපට වැටුණා හා සමාන සිදුවීමකි. තවද ආනයනික දෙනුන් මගින් මාරාන්තික ආගන්තුක රෝග මෙරට ගවයින් අතරේ ද බෝ වීම දේශීය කිරි ගවයින් සම්බන්ධයෙන් ද අවදානම් සහගත තත්ත්වයකි. බලධාරීන් වගකීම් සහගත බවින් බැහැරව ක්‍රියා කරීම හමුවේ පැනනැගී ඇති මෙම ගැටලුකාරී තත්ත්වය පිළිබඳව පසුගිය වසර කිහිපය පුරාම අපි ප්‍රවෘත්ති විකාශ හමුවේ දිගින් දිගටම රට හමුවේ වාර්තා කළෙමු.

පසු විපරම.....

ප්‍රමිතියෙන් තොර ගව දෙනුන් ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලාංකික කිරීගොවීන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ ඔස්ට්‍රේලියානු ජාතික ගුවන් විදුලිය හා රූපවාහිනිය ද පසුගිය 4 වන දා අනාවරණයක් සිදු කළේ ය. එහි සඳහන් වූයේ, විශාල මුදලක් ගෙවා ලබා ගත් මෙම කිරි ගව දෙනුන් මිය යාම හා මන්දපෝෂණයෙන් පෙළීම නිසා ඇතැම් ගොවීන් සියදිවි හානිකර ගැනීමේ තත්ත්වයට පත්ව සිටින බවයි. මේ අතර ආනයනික ගැබ්බර ගව දෙනුන් මිලදීගෙන අර්බුදයට මැදිව සිටින කිරී ගොවීන් පිරිසක් දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමට පෙබරවාරි 21 වන දා පැමිණිල්ලක් යොමු කළහ. ඔවුන් මෙම ගැබ්බර දෙනුන් මිලදී ගෙන තිබුණේ, ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් වාණිජ කිරි ගොවිපොළ ස්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ ය. https://www.youtube.com/watch?v=I6Kzlzu_EPg 2018 ජුලි මස 1 වන දා මේ සම්බන්ධයෙන් ද නිව්ස්ෆස්ට් කරුණු අනාවරණය කළේ ය. ඒ අර්බුදකාරී තත්ත්වයක් පැන නැගී තිබීම හමුවේත් ඔස්ට්‍රේලියාවෙන් ගැබ්බර දෙනුන් ආනයනය කිරීමේ  දෙවන අදියර යටතේ අත්තිකාරම් සපයා ගැනීම සඳහා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශ ලේකම්වරිය විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් කළ ඉල්ලීමක් පිළිබඳවයි. https://www.youtube.com/watch?v=9dADcBPXBwc මේ උත්සාහ කරන්නේ, සැබෑවටම දේශීය දියර කිරි නිෂ්පාදනය ඉහළ නංවා රට ස්වයංපෝෂිත කිරීමට ද? 2018 වසරේ සැප්තැම්බර් මාසයේදී විෂය භාර අමාත්‍යවරයා මාධ්‍ය හමුවක පෙනී සිටිමින් තරයේ කියා සිටියේ කිසිදු රෝගී සත්ත්වයෙකු ආනයනය කර නොමැති බවයි. මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අමාත්‍යවරයාගේ කලබලකාරී අපූරු ප්‍රතිචාර දැකීම පහතින්....   https://www.youtube.com/watch?v=YTR8D34e1qY මේ අතර 2018 වසරේ මාර්තු 18 වන දා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේ මෙරටට ගෙන්වනු ලැබූ දෙනුන් නිරෝධායන ක්‍රියාවලියකින් තොරව ගෙන්වා ඇති බවත් මෙහිදී වංචාවක් සිදුව ඇති බවත් ය. ඊට පිළිතුරු ලබා දුන්නේ අමාත්‍ය පී. හැරිසන් මහතායි. ගැටුලුවට නිසි පිළිතුරු වෙනුවට එහිදී ඇති වූ සංවාදය කෙළවර වූයේ, එය විහිළුවක් බවට පත්වෙමිනි. එම සංවාදය පහතින්... https://www.youtube.com/watch?v=05P1Vo2pf-0 "එක වැස්සියෙක් වත් ලෙඩ වැස්සියෙක් නෑ..... " මේ එවක ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ආනයනික ගැබ්බර දෙනුන්  සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ පැනයට දුන් පිළිතුරයි. ආනයනය කළ ගැබ්බර දෙනුන්ට කිසිදු රෝගයක් වැළඳී නොමැති බව ත් ඔවුන්ට මෙරට ගවයින්ට වැළඳෙන සාමාන්‍ය රෝග පමණක් වැළඳී ඇති බවත් අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා සඳහන් කළේ ය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ 2018 වසරේ සැප්තැම්බර් 22 වන දා මොණරාගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවති ඌව පළාත් කිරි ගොවි සමුළුව අමතමිනි. https://www.youtube.com/watch?v=Q4PEFWFqko0 https://www.youtube.com/watch?v=dPvMYRx5TRM වේදිකාව මත සිට කවි, ගී සිංදු කීමට හපන්කම් දක්වන ඇමතිවරුන් ජනතා ගැටලු හමුවේ සංවේදී නොවන බව අද කිරි ගොවීන් පත්ව සිටින ගැටලුව දෙස සංවේදීව බැලීමේදී පැහැදිලි වන්නකි. ‍දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ආනයනික ගැබ්බර දෙනුන් මිලදී ගත් අසරණ ගොවීන්ට අද සිදුව ඇත්තේ, අතපිසදා ගෙන හිත හදා ගැනීමයි.. 2016  වසරේ සිට මේ දක්වා මෙම ආනයනික දෙනුන් මිලදී ගැනීමේ ක්‍රියාවලියට දායක වූ දේශපාලනඥයින්, කූඨ ව්‍යාපාරිකයින් ඇතුළු අනෙකුත් සියලු දෙනා කිරි ගොවියා අද පත්ව සිටින මෙම තත්ත්වයට වගකිව යුතු නොවේ ද?

ආනයනික කිරි දෙනුන් නිසා කිරි ගොවියා සහ රටේ කිරි කර්මාන්තයට අද අත්ව ඇති ඉරණම පිළිබඳ සවිස්තර වාර්තාවක් අද රාත්‍රී 7.00 News 1st ප්‍රධාන ප්‍රවෘත්ති තුළින් බලාපොරොත්තු වන්න....