ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු 5 කට ඇප

PTL සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු 5 දෙනෙකුට ඇප

by Staff writer 05-04-2019 | 5:25 PM

COLOMBO (News 1st) - මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි යන මහත්වරුන් ඇතුළු සැකකරුවන් 5 දෙනා අද ඇප මත මුදා හැරුණි.

ඒ, ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. සැකකරුවන්ට විදේශ ගතවීම වලක්වන නියෝගයක් ද අධිකරණය නිකුත් කළේ ය. ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස් හා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි යන මහත්වරුන් රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 4 ක් මත මුදා හැර තිබේ. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන සෙසු සැකකරුවන් තිදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 6 ක් මත මුදා හැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය. එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම් පත් ආඥාපනත යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් වුවත් ඔවුන්ට ඇප ලබාදීමක් සිදු කළ හොත් මහජන කැළඹීමක් ඇතිවිය හැකි බැවින් හා විමර්ශනවලට සහ පැමිණිල්ලේ සාක්ෂිවලට බලපෑම් ඇතිවිය හැකි බැවින් එම සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පැමිණිල්ල මෙහෙය වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය. මෙම සැකකරුවන් ලංකා දණ්ඩ නීති සංග්‍රහය සහ පොදු දේපොළ පනත යටතේ ගැනෙන වැරදි සිදු කර ඇති දැයි විමර්ශන සිදු කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය සඳහන් කර තිබේ. එවැනි කරුණක් අනාවරණය වූයේ නම් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මුල් දිනයේදීම අධිකරණය දැනුවත් කළ යුතුව තිබූ බව මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නා ය. පැමිණිල්ල ඉදිරිපත් කරන කරුණු මත පමණක් පදනම්ව නියෝග ලබාදීමක් සිදු නොකර ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් කරුණු ඇත්නම් ඒවා සලකා බලා නියෝගයක් ලබාදීම අධිකරණයේ කාර්යය බව ද පෙන්වා දෙමින් මහේස්ත්‍රාත්වරිය ඇප නියෝගය නිකුත් කර තිබේ. නඩුව ලබන 30 වැනි දා යළි කැදවීමට නියමිතයි.