අරලියගහ මන්දිරයේ MCC කාර්යාලයක් ස්ථාපිත කර නැතැයි අමෙරිකානු තානාපති කාර්යාලය කියයි

by Staff writer 05-04-2019 | 3:49 PM

COLOMBO (News 1st) - පසුගිය දිනවල මහත් ආන්දෝලනයට තුඩු දුන් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ කාර්යාලයක් අරලියගහ මන්දිරයේ පිහිටුවා තිබීම පිළිබඳව නිව්ස්ෆස්ට් මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයෙන් කරුණු විමසුවේ ය.

අමෙරිකානු තානාපති කාර්යාලය ඊමේල් පණිවුඩයකින් ප්‍රකාශ කරන්නේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවා නැති බවයි. නමුත් සම්බන්ධීකරණ කටයුතු සඳහා පුද්ගලයකු මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන බව ද මෙහි සඳහන් කර තිබේ. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය පිළිබඳව ආන්දෝලනාත්මක කතා බහා ඇති වන්නේ, පසුගිය දා විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්වක් සමගය. එනම් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ කාර්යාලයක් අරලියගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක වන බවත් එමගින් මෙරට ඉඩම් පිළිබඳව ආන්දෝලනාත්ම ප්‍රතිපත්ති වෙනස්කම් කිරීමට සුදානම් වන බවත් ය. එහිදී අදහස් දැක් වූ සාගල රත්නායක අමාත්‍යවරයා ඒ චෝදනාව ප්‍රතික්ෂේප කළේ ය. නමුත් ඊයේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙම ලිපිය පාර්ලිමේන්තුවේදී සභාගත කළේ ය. මෙහි දැක්වෙන්නේ ආර්. සිරිවර්ධන නම් අයෙකු තමන් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ ජාතික උපදේශක සහ සම්බන්ධීකාරක ලෙස හඳුන්වාදෙමින් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් යවමින් පවසන්නේ අමෙරිකාවෙන් පැමිණෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ නියෝජිතයන්ට අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සමග පෙබරවාරි 26 හෝ 27 දිනයක සාකච්ඡාවක් ලබා දෙන ලෙසයි. මෙම ලිපියේ ලිපිනය ලෙස සඳහන් කර ඇත්තේ, අරලියගහ මන්දිරයේ නව ගොඩනැගිල්ලේ උතුරු පරිශ්‍රයේ දෙවෙනි මහලේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලයයි. නමුත් අමෙරිකානු තානාපති කාර්යාල නිවේදනය අනුව එවැනි කාර්යාලයක් මෙරට නොමැති නම් මේ සිරිවර්ධන නම් පුද්ගලයා අරලියගහ මන්දිරයේ ලිපිනය මෙලස සඳහන් කරන්නේ වංචනිකව ද? අරලියගහ මන්දිරයේ කොටසක් මෙලෙස නිල නොවන කාර්යාලයක් ලෙස පවත්වාගෙන යන්නේ අගමැතිවරයාගේ අනුමැතිය හා අනුදැනුම ඇතුව ද? අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ ලිපියේ තවදුරටත් දැක්වෙන්නේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය කටයුතු කරන්නේ ශ්‍රී ලංකා රජය මගින් යෝජනා කරන ව්‍යාපෘති සම්බන්ධයෙන් පමණක් බවයි. එමෙන්ම එම ආයතනය මේ දිනවල කැපවී සිටින ශ්‍රී ලංකාවේ ඉඩම් සහ ප්‍රවාහන ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන්නේ ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම අනුව බව ද අමෙරිකානු තානාපති කාර්යාලය තවදුරටත් සඳහන් කරයි. මේ සම්බන්ධව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ වෙබ් අඩවියේ ඇති වාර්තාවක දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්ම කිරීමට යෝජිත ඉඩම් ආදී ප්‍රතිසංකරණ අවශ්‍ය බව තීරණය කර ඇත්තේ චරිත රත්වත්තේ මංගල යාපා ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ආදී පුද්ගලයන් ගෙන් සමන්විත කමිටුවකින් බවයි. පසුගිය දිනවල වඩාත් කතා බහට ලක්වුණු, ජනපතිවරයාගේ පවා විවේචනයට පාත්‍රවුණු ඉඩම් බැංකු පනත සහ ඉඩම් විශේෂ විධිවිධාන පනත කරලියට එන්නේ මේ අතරතුරවීම විශේෂයි.