උතුරු ජනනී කළ හානියට මි.20ක් ගෙවන්නැයි නියෝග

උතුරු ජනනී නිසා වූ හානියට මි. 20ක් වන්දියක් ගෙවන්නැයි, නියෝග

by Staff writer 04-04-2019 | 7:14 PM
COLOMBO (News 1st) : යාපනය චුන්නාකම්, උතුරු ජනනී තාප විදුලි බලාගාරයේ කටයුතු නිසා ප්‍රදේශවාසීන්ට සිදුව ඇති හානියට රුපියල් මිලියන 20 ක වන්දියක් ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද නොදර්න් පවර්ස් සමාගමට නියෝග කළේ ය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ , එම වන්දි මුදල එක් පවුලකට රුපියල් හතළිස් දහසක උපරිමයකට යටත්ව ගෙවීමට පියවර ගන්නා ලෙසයි. අදාළ වන්දි ගෙවීමේ කටයුතු අධීක්ෂණය කරන්නැයි ජාතික ජල සම්පාදන මණ්ඩලයට අධිකරණය අද නියෝග කළේ ය. ඉදිරියේදී බලධාරීන් විසින් පනවන පිළිගත් කොන්දේසිවලට යටත්ව, එම විදුලි බලාගාරය පරිසරයට හානියක් නොවන අන්දමින් පවත්වාගෙන යාමට ද විනිසුරු මඩුල්ල වගඋත්තරකාර සමාගමට අවසර දුන්නේ ය. ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන හා එල්.ටී.බී. දෙහිදෙණිය යන විනිසුරු මඬුල්ල එම නියෝගය නිකුත් කළේ, පරිසර හා අධ්‍යයන කේන්ද්‍රයේ සභාපති රවීන්ද්‍ර කාරියවසම් මහතා විසින් ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කරමිනි. 2015 වසරේදී ගොනු කළ අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් පෙන්වා දී තිබුණේ තාප විදුලි බලාගාරයෙන් පිටකරන තෙල් හා ග්‍රීස් ප්‍රදේශයේ ළිංවලට එක්වීම නිසා ජලය අපවිත්‍ර වීමෙන් ප්‍රදේශවාසීන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවයි. එය සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, බලාගාරයේ කටයුතු අත්හිටුවමින් 2016 ජනවාරී 31 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය. එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තකරුවන් ලෙස නම් කර තිබුණේ උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් සමග උතුරු පළාත් සභාව හා නීතිපතිවරයා ඇතුළු පිරිසකි.