by Staff writer 03-04-2019 | 12:46 PM
COLOMBO (News 1st) - මතින් නිදහස් රටක් වෙනුවෙන් ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ බක්මහ දිවුරුම අද පෙරවරුවේ පැවැත්විණි.
එහි ප්‍රධාන උත්සවය කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වුණේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.
මතින් නිදහස් රටක් මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා මුළු රටම එක්ව ප්‍රතිඥා දීම මෙහිදී සිදු කෙරිණි.
වැඩසටහන ආරම්භ වූයේ, සර්ව ආගමික නායකයින්ගේ ආශිර්වාද මැදයි.
රාජ්‍ය අංශයේ නිලධාරීන් වෙනුවෙන් පළමුව සිංහල හා දෙමළ භාෂාවන්ගෙන් දිවුරුම ලබා දීම සිදු කෙරිණි.
මේ අතර මතින් නිදහස් රටක් වෙනුවෙන් බක්මහ දිවුරුමට පාසල් සිසුහු ද එක්වූහ.
බක්මහ දිවුරුම ජාතික වැඩසටහනට සමගාමීව දිවයින පුරා ද දිවුරුම් දීමේ වැඩසටහන් සංවිධාන කර තිබිණි.
කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීම සිදු කෙරුණේ, දිස්ත්‍රික් ලේකම් ගාමිණි ඉලංගරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඒ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලු නිලධාරීහු එක්ව සිටියහ.
උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාත් සභා පරිශ්‍රයේ දිවුරුම් දීම සිදු කෙරිණි.
ඒ සඳහා පළාත් සභාවේ නිලධාරීන් හා රාජ්‍ය ආයතනවල නිලධාරීහු සහභාගී වූහ.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් දිවුරුම් දීම සිදු කෙරිණි.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ද අද අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිවුරුම් දුන්නේ ය.
ඒ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීහු එක්ව සිටියහ.
මේ අතර බක්මහ දිවුරුම අද දිවයිනේ පාසල් තුළ ද ක්‍රියාත්මක විය.