දිමුත් කරුණාරත්නට දඩ නියම කෙරේ

දිමුත් කරුණාරත්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අමෙරිකානු ඩොලර් 7500ක දඩයක්

by Staff writer 03-04-2019 | 7:32 AM
COLOMBO (News 1st) - බීමතින් රිය පදවා අනතුරක් කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් චර්යා ධර්ම පද්ධතිය කඩ කළේ යැයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට දඩ පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් චර්යා ධර්ම පද්ධතිය කඩ කිරීම හේතුවෙන් අමෙරිකානු ඩොලර් 7500ක දැවැන්ත දඩ මුදලක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. පසුගිය ඉරිදා පැවති උත්සවයකින් අනතුරුව සිය නිවස වෙත යමින් සිටියදී දිමුත් මෙම අනතුරට ලක් වුණු අතර ඔහුව පොලිස් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරිණි. කෙසේ වෙතත් මෙම අනතුර පිළිබඳව සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ඔහු සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටියේ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, දිමුත්ගේ ක්‍රීඩක චර්යා ධර්ම ගිවිසුමට අනුව සිදු කළ පරීක්ෂණයකට පසු මෙලෙස ඔහුට මෙම දඩ මුදල නියම කළ බව ය. දිමුත්ට පැනවූ දඩ මුදල ඔහුට එක් ටෙස්ට් තරගයක් වෙනුවෙන් ලබා දෙන තරග ගාස්තුවට සමාන බව සඳහන් වේ. බීමත්ව රිය පදවා අනතුරක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න මහතා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ රථ වාහන අධිකරණය පසුගියදා නියෝග කළේ ය. එහෙත් ඔහුගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට අතිරේක මහේස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා නියෝග කළේ ය. හානි පූර්ණය සිදු වන්නේ නම් නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බව අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටි අතර චෝදනා පත්‍රය ගොනු කිරීම හා පැමිණිල්ල ගොනු කිරීම සඳහා නඩුව ලබන මස 02 වන දාට කැල් තැබිණි.