මරණ දඬුවමට තිබූ ප්‍රමුඛ අඩුපාඩුවක් විසඳෙන ලකුණු

මරණ දඬුවමට තිබූ ප්‍රමුඛ අඩුපාඩුවක් විසඳෙන ලකුණු

by Sagarika Chathumali 02-04-2019 | 10:36 AM
COLOMBO (News 1st) : මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අලුගෝසු තනතුරු වෙනුවෙන් වන සම්මුඛ පරීක්ෂණ අද සහ හෙට යන දෙදින පැවැත්වීමට නියමිතව තිබේ. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ලැබුණු අයදුම්පත් අතුරින් අයදුම්පත් 79ක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට තීරණය කර ඇති බවයි. අලුගෝසු තනතුර සඳහා ඉදිරිපත්ව තිබූ අයදුම්පත් සංඛ්‍යාව 102කි. ඒ අතුරින් එක් අයදුම්පතක් ඇමෙරිකානු ජාතිකයෙකු විසින් යොමු කර තිබිණ. අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා ප්‍රකාශ කළේ, සම්මුඛ පරීක්ෂණවලින් පසුව අලුගෝසු තනතුර සඳහා දෙදෙනෙකු බඳවා ගැනීමට පියවර ගන්නා බවයි. එම කටයුතු කඩිනමින් සිදුකිරීමට සැලසුම් කර ඇති බව ද, ඔහු සඳහන් කළේ ය. බන්ධනාගාර අමාත්‍යාංශය සඳහන් කළේ, මරණ දඬුවම නියම වි සිටින දරුණු ගණයේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ට එම දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ගන්නා ක්‍රියාමාර්ගවලට පහසුකම් සැලසීම මෙහි අරමුණ බවයි. මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ දින වකවානු ද මේ වන විට තමා තීරණය කර අවසන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා සඳහන් කළේ ය. මරණ දඬුවම ලබා දීමට නිර්දේශිත නාම ලේඛන ද, මේ වන විට ජනාධිපතිවරයා වෙත භාර දී අවසන් ය.