"දේශපාලනඥයින්ට වඩා රටට උගතුන් අවශ්‍යයි..." INNOVATE SRI LANKA විවෘත කරමින් ජනපති අවධාරණය කරයි

by Sagarika Chathumali 02-04-2019 | 2:29 PM
COLOMBO (News 1st) : ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ INNOVATE SRI LANKA - 2019 ප්‍රදර්ශනය අද පෙරවරුවේ  බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ විය. විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කෙරුණු මෙම ප්‍රදර්ශනය අද පෙරවරුවේ ආරම්භ වූයේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, මහාචාර්යවරු, ආචාර්යවරු සහ විද්‍යාජෝති ආචාර්ය බන්දුල විජේ මහතා ඇතුළු විද්වත්හු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ප්‍රදර්ශනය ආරම්භ කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ, රට හමුවේ ඇති ආර්ථීක, සමාජ අභියෝග ජය ගැනීමේදී දේශපාලනඥයින්ගේ කාර්යභාරයට වඩා උගතුන් සහ විද්වතුන්ගේ මැදිහත්වීමේ ප්‍රමුඛ අවශ්‍යතාවක් පවතින බවයි. ජාතිය හමුවේ ඇති අභියෝග ජය ගැනීමට උගතුන් සහ බුද්ධිමතුන්ගේ එකතුවක කඩිනම් අවශ්‍යතාව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ ය. ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි නැරඹීමට ද එක්විය. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නවෝත්පාදන හා නව නිර්මාණ ඒකරාශී කරමින්  විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන, නව්‍යකරණ සහ ව්‍යාපාර නිර්මාණ කවුන්සිලය විසින් සංවිධාන කරනු ලබන INNOVATE SRI LANKA - 2019 ප්‍රදර්ශනය හෙට දිනයේ ත් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙනු ඇති.