හදිසි විදුලි මිලදී ගැනීමක් සඳහා කොමිසමේ අනුමැතිය

හදිසි විදුලි මිලදී ගැනීමක් සඳහා කොමිසමේ අනුමැතිය

by Staff writer 31-03-2019 | 6:53 PM
COLOMBO (News 1st) : හදිසි විදුලි මිලදී ගැනීමක් සඳහා මහජන උපයෝගීතා කොමිසම සිය අනුමැතිය ලබා දී තිබේ. එහි සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ, මෙගාවොට් 100ක විදුලි ධාරිතාවක් මිලදී ගැනීම සඳහා ඊයේ අනුමැතිය ලබා දුන් බවයි. මේ අතර විදුලි කප්පාදුවට එරෙහිව ප්‍රදේශ කිහිපයක අද විරෝධතා පැවැත්විණ. එක් විරෝධතාවයක් පැවැත්වුණේ, බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල හාල්අටුතැන්න මංසන්දියේදීයි. ප්‍රදේශයේ ජනතාව මෙන්ම විපක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය දේශපාලනඥයින් ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ. විදුලි කප්පාදුවට, ඔවුන් සිය විරෝධය පළ කළේ, නිවෙස්වල තිබුණු විදුලි උපකරණ ද මහ මගට රැගෙන එමිනි. මේ අතර විදුලි කප්පාදුවට එරෙහිව වීරකැටිය මීගස්ආර ප්‍රදේශවාසීන් මීගස්ආර මංසන්ධියේදී ඊයේ රාත්‍රී විරෝධතාවක නිරත විය. මේ අතර පෞද්ගලික අංශයේ හදිසි විදුලි මිලදී ගැනීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි, විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ ය.