ජල කප්පාදුවෙන් ජනතාව දැඩි අපහසුතාවට

ජල කප්පාදුවෙන් ජනතාව දැඩි අපහසුතාවට

by Staff writer 31-03-2019 | 5:46 PM
COLOMBO (News 1st) : කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9 දක්වා අත්හිටුවන ලද ජල සැපයුම මේ දක්වා යථා තත්ත්වයට පත් නොකිරීමෙන් ප්‍රදේශ රැසක ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටී. නඩත්තු කටයුත්තක් හේතුවෙන්, ඊයේ පෙරවරු 9 සිට කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට පැය 24 කාලයත් ජල සැපයුම අත්හිටුවන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබිණ. කෙසේ වෙතත්, නඩත්තු කාල සීමාව දීර්ඝ කිරීමට සිදුවීම හේතුවෙන් ජල සැපයීමට ප්‍රමාද වූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති අලහුඩීන් අන්සාර් මහතා ප්‍රකාශ කළේ ය. ජලය නොලැබීම හේතුවෙන් කෝට්ටේ, පිටකෝට්ටේ, නාවින්න, වැල්ලවත්ත, බොරලැස්ගමුව, බම්බලපිටිය, බොරැල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටී. සභාපතිවරයා ප්‍රකාශ කළේ, මේ වන විට ප්‍රදේශ රැසක ජල සැපයුම යථාතත්ත්වයට පත් කර ඇතත් උස් බිම් සහිත ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි. එම ප්‍රදේශවලට බවුසර් මගින් ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේ ය.