මුල්ගල තබා වැඩ ඇරඹූ තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ආයෝජනය සොයා කබීර්, මලික් ඕමාන් යාමට සැරසෙයි

by Staff writer 30-03-2019 | 11:49 AM

COLOMBO (News 1st) - විදේශ ආයෝජනයක් යැයි කියන හම්බන්තොට තෙල් පිරිපහදුව පිළිබඳව සාකච්ඡා කිරීමට කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම අමාත්‍යවරුන් ඕමානය බලා පිටත්ව යාමට නියමිත බව අද ඩේලි මිරර් පුවත්පත සඳහන් කර තිබේ.

ඍජු විදේශීය ආයෝජන හෙවත් FDI ලෙස හැඳින්වෙන මෙවන් ආයෝජනයකදී සිදු වන්නේ, ආයෝජකයා තමන් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන රටට පැමිණීමයි. නමුත් මේ ආකාරයෙන් ආයෝජන ලබා ගැනීමට යැයි කියමින් මෙම අමාත්‍යවරුන් දෙදෙනා ඕමානයට යාම වෙනත් අරමුණක් ඇතිව සිදු කරන්නේ දැයි ජනතාවට සැකයක් මතු වේ. මෙම ව්‍යාපෘතිය පිළිබඳව නලින් බණ්ඩාර අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී ඉතා පැහැදිලිව කියා සිටියේ, මෙම ව්‍යාපෘතියට ඕමාන සම්බන්ධයක් ඇති බව ය. නමුත් ඕමානය සමග වන එම සම්බන්ධතාව කවර එකක් දැයි සනාථ කිරීමට අමාත්‍යවරයා හෝ රජය ඊයේ පාර්ලිමේන්තුවේදී සමත් නොවිණි. ඕමාන තෙල් අමාත්‍යංශය මෙම ව්‍යාපෘතිය පිළිබඳ පුවත වහාම ප්‍රතික්ෂේප කළ අතර එම ස්ථාවරය වෙනස් කළ බවට තවමත් කිසිදු වාර්තාවක් නොමැත. මෙහි අනෙක් පාර්ශවකරුවා වන සිල්වර් පාර්ක් පෙට්‍රෝලියම් ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු වන ඉන්දියානු දේශපාලනඥ ජගත්රාක්ෂකන් රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ තමන් ශ්‍රී ලංකාවේ රජයට ලබා දුන්නේ ඉතාම ප්‍රථමික ලියැවිල්ලක් බව ය. තවම ශක්‍යතා අධ්‍යයනයක් කර නැති බවත් අනෙක් 30% සඳහා වන ආයෝජකයින් කවුරුන් දැයි තවම තීරණය කර නැති බවත් පවසන ඔහු ඒ සඳහා අවම වශයෙන් තව වසරක් වත් ගත වනු ඇති බවත් සඳහන් කර තිබේ. සමාගමේ ප්‍රධානියා කුමක් පැවසුව ද අදාළ සිල්වර් පාර්ක් පෙට්‍රෝලියම් ආයතනය ලියාපදිංචි කර ඇත්තේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර දවස් 6කට පසුව ය. එවන් පසුබිමක මෙම අමාත්‍යවරුන් දෙදෙනා ඕමාන චාරිකාවක යෙදීම එකී චෝදනා වසන් කිරීමට දරන උත්සහයක් ද යන්න තවත් සැක සහිත කරුණකි. මෙම ව්‍යාපෘතිය යටතේ මතු වූ ගැටලුකාරී තත්ත්වය ජාත්‍යන්තර හා දේශිය මාධ්‍ය ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ද දිගින් දිගටම ප්‍රශ්න කළේ ය. ඒ කිසිවකට නිසි පිළිතුරු සැපයීමට අපොහොසත් වූ රජය, අමාත්‍යවරුන් දෙදෙනෙකු කඩිමුඩියේ ඕමානයට යැවීම සත්‍යය වසන් කිරීමේ හෝ වෙනත් යටි අරමුණක් සහිත ගනුදෙනුවක් කිරීමේ උත්සහයක් ද යන්න සැකයට තුඩු දෙන කරුණකි.