ජනපති කොමිසමේ සාක්ෂි විභාගය යළි ඇරඹේ

රාජ්‍ය ආයතනවල වංචා විමර්ශනයට පත් කළ ජනපති කොමිසමේ සාක්ෂි විභාගය යළි ඇරඹේ

by Staff writer 30-03-2019 | 7:20 AM

COLOMBO (News 1st) - පසුගිය වසර හතර තුළදී රාජ්‍ය ආයතනවල සිදු ව ඇතැයි සැලකෙන දූෂණ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගය අනිද්දා යළි ආරම්භ වේ.

එම කොමිසම සඳහන් කළේ, මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලට අදාළව සාක්ෂි සටහන් කර ගැනීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අනිද්දා කොමිසම වෙත පැමිණෙන්නැයි නෝතිසි නිකුත් කර ඇති බවයි. ඊයේ දිනයේදී අදාළ පැමිණිල්ල විභාග කිරීම ආරම්භ කර තිබේ. එහිදී සාක්ෂි දුන් ඖෂධ ආනයනය කරන්නන්ගේ සංවිධානයේ නියෝජිතවරයෙකු පවසා ඇත්තේ, රජය අඩු මුදලට ඖෂධ වර්ග ලබාදෙන බව හා රෝගීන්ට සහන සලසන බව කියා කියා සිටිය ද ඖෂධ ආනයන ක්‍රියාවලියේදී මහා පරිමාණ දූෂණ වංචා සිදුවන බවයි. පියයුරු පිළිකා රෝගීන්ට අවශ්‍ය එන්නත් ගෙන ඒමේදී අමෙරිකා එක්සත් ජනපදයේ ආයතනයක් අනුමත කළ එන්නතක් රුපියල් 35,000 ට ලබා ගැනීමට හැකියාව තිබියදීත් කිසිදු ටෙන්ඩර් පටිපාටියෙන් තොරව රුසියාවෙන් එම එන්නතක් රුපියල් 49,600 කට ගෙන ඇති බව එම නියෝජිතවරයා සාක්ෂි දෙමින් පවසා ඇත. සාක්ෂි දෙමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, වෛද්‍යවරු 27 දෙනෙක් ඊට විරුද්ධව පෙත්සමක් පවා ඉදිරිපත් කර ඇති බවයි. මෙම ක්‍රියාවලිය නිසා රුපියල් බිලියන 8.5 ක වංචාවක් සිදු ව ඇති බවට ඔහු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට චෝදනා ඉදිරිපත් කර තිබේ.