කංජිපානි ඉම්රාන්ගෙන් CCD ය තවදුරටත් ප්‍රශ්න කරයි

කංජිපානි ඉම්රාන්ගෙන් CCD ය තවදුරටත් ප්‍රශ්න කරයි

by Staff writer 30-03-2019 | 6:37 AM

COLOMBO (News 1st) - ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් පාතාල සමාජික මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් රඳවා තබා ප්‍රශ්න කරමින් ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන බවයි. පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් කංජිපානි ඉම්රාන් ඇතුළු සිව්දෙනෙකු පෙරේදා මෙරටට පිටුවහල් කෙරුණි. මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි කංජිපානි ඉම්රාන් ඇතුළු මෙම පිරිස පෙබරවාරි මස 05 වෙනි දා ඩුබායි පොලීසියෙන් අත්ඩංගුවට ගැනුණේ මාකදුරේ මදුෂ් සමග සාදයකට සහභාගිවෙමින් සිටියදී ය. මේ අතර මීට දින කිහියකට පෙර ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කුමාර කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.