සා/පෙළ ලියූ 71%ක් උසස් පෙළට සුදුසුකම් ලබයි

සා/පෙළ ලියූ 71%ක් උසස් පෙළට සුදුසුකම් ලබයි

by Staff writer 29-03-2019 | 7:03 AM
COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ලබන 12 වන දා දක්වා අයැදුම්පත් භාර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව පවසන්නේ, පාසල් අයැදුම්කරුවන් විදුහල්පතිවරුන් මාර්ගයෙන් හා පෞද්ගලික අයැදුම්කරුවන් ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා වන ආදර්ශ අයැදුම්පත පුරවා එවීමෙන් ද ඒ සඳහා ඉල්ලුම් කළ හැකි බව ය. එම අයැදුම්පත් විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාවට යොමු කළ යුතු ය. මේ අතර ඊයේ නිකුත් කළ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛන කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපවල පාසල්වල විදුහල්පතිවරුන්ට විභාග දෙපාර්තමේන්තුවට අද පෙරවරු 10.00න් පසු පැමිණ ලබා ගත හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. සෙසු පාසල්වල හා පෞද්ගලික අයැදුම්කරුවන්ගේ ප්‍රතිඵල ලේඛන අද තැපෑලට යොමු කිරීමට නියමිත ය. මේ අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ පිරිස විභාගයට පෙනී සිටි සංඛ්‍යාවෙන් 71.66%කි. ගණිතය සමත් ප්‍රතිශතය 64.11%ක් බව ද විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ය. විෂයන් 9ටම A සාමාර්ථ ලැබූ සිසුන් සංඛ්‍යාව 9413කි. මේ අතර සමාන්‍ය පෙළ විභාගයේ දිවයිනේ පළමු ස්ථාන 10ට තේරී පත් වූ සිසු සිසුවියන්ගේ ලේඛනය ද විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව දිවයිනේ පළමු ස්ථානය හිමි කර ගෙන ඇත්තේ, කොළඹ විශාඛා විද්‍යාලයේ නිලන්කා දිසිවරී වරුෂවිතානයි. මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුවියන් තිදෙනෙකු දෙවන ස්ථාන හිමි කර ගෙන තිබේ. කොළඹ විශාඛා විද්‍යාලයේ ගරසිංහ ආරච්චිගේ සවිති හංසදී, ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ ප්‍රතාප මුදියන්සේලාගේ සංජානි දිලේකා කුමාරි සහ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ කළුආරච්චි කංකන්නාම්ගේ මින්දි රෙබේකා එම සිසුවියන් තිදෙනායි. කෑගල්ල ශාන්ත ජෝසෆ් බාලිකා විද්‍යාලයේ ගයාත්‍රි හර්ෂිලා ලිහිණි කඩුආරච්චි සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ 5 වන ස්ථානය හිමි කර ගෙන තිබේ. මෙවර විභාග ප්‍රතිඵල අනුව සිසු සිසුවියන් 5 දෙනෙකු දිවයිනේ 6 වන ස්ථානය හිමි කර ගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයැදුම්කරුවන් සංඛ්‍යාව 656,641කි.