තෙල් පිරිපහදුව:මුදල්වි ශුද්ධිකරණය වීමේ අවදානමක්

හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය හරහා මුදල් විශුද්ධිකරණය කිරීමේ අවදානමක්

by Staff writer 27-03-2019 | 3:50 PM
COLOMBO (News 1st) : හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය හරහා මුදල් විශුද්ධිකරණය කිරීමේ අවදානමක් ඇතැයි ට්‍රාන්ස්ෆෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කළේ, මතභේදයට තුඩුදී ඇති යෝජිත හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණයට අරමුදල් සපයන අළු ලේඛනයෙන් බැහැරවීමට දරන උත්සාහයට සෘණාත්මක බලපෑමක් ඇති කරන බවයි. හම්බන්තොට යෝජිත තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ප්‍රධාන ආයෝජනය සිංගප්පූරුවේ පිහිමි සිල්වර් පාක් ඉන්ටර්නැෂනල් සමාගම විසින් සිදුකරන බව ට්‍රන්ස්පෙරන්සි ඉන්ටනැෂනල් ආයතනය සිය නිවේදනයෙන් පෙන්වා දෙයි. එම සමාගමේ පාලනය මාධ්‍ය මගින් විවිධ දූෂණ චෝදනාවලට ලක්වු තමිල්නාඩුවේ හිටපු ඉන්දිය අමාත්‍ය ජගත්රක්ෂකන් හා ඔහුගේ පවුල සතුවන බව ට්‍රන්ස්පෙරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සඳහන් කළේ ය. එබැවින් අදාළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් දේශපාලන වශයෙන් යම් දූෂණ කාර්යන්ට සම්බන්ධවූවන් ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිසි ඇගයීමක් කළ යුතු බව ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් නිවේදනයේ සඳහන් ය. මේ අතර අදාළ ව්‍යාපෘතිය පිළිබඳ සියලු විස්තර තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව මහජනතාවට දැනගැනීමේ අවස්ථාව ලබාදිය යුතු බව ද එම ආයතනය පවසයි. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නිවැරදි ක්‍රමවේදය නම් අදාල විෂය භාර අමාත්‍යවරයා ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මාස තුනකට පෙර හෙළිදරව් කිරීමට කටයුතු කළ යුතු බවයි.