by Sagarika Chathumali 27-03-2019 | 5:18 PM
COLOMBO (News 1st) : 2008 වසරේ කොළඹදී තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් අවස්ථා 4 කදී ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කියා සිටියේ ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීම සඳහා ලබන මස 04 වන දා අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇති බවයි.
එම පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වසන්ත කරන්නාගොඩ මහතා 2009 වසරේ මැයි මස 28 වන දින එවකට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට පැමිණිලි කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ, ඒ වන විටත් නාවික හමුදා සාමාජිකයින් විසින් මෙම තරුණයින් ඇතුළු 11 දෙනා පැහැරගෙන ගොස් ඝාතනය කරන ලද බව වසන්ත කරන්නාගොඩ මහතා දැන සිට ඇති බවයි.
නාවික හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂ ආනන්ද ගුරුගේ මහතා ලබාදුන් ප්‍රකාශවලින් ඒ බව තහවුරු වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ ය.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 7 දෙනා ලබන 09 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ සැකකරුවන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
නඩුවේ සෙසු සැකකරුවන් වන කොමදෝරු ඩි. කේ. පී. දසනායක මහතා ඇතුළු සෙසු සැකකරුවන් 8 දෙනාට ලබන ජුලි මස 03 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද අධිකරණය නියෝග කළේ ය.