හිටපු DIG නාලක සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

හිටපු DIG නාලක සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

by Staff writer 26-03-2019 | 4:43 PM
COLOMBO (News 1st) - ප්‍රභූ ඝාතන ක්‍රමන්ත්‍රණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ලබන මස 9 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී ය. අසනීප තත්ත්වයක් නිසා නාලක ද සිල්වා මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත්ව සිටින බව පෙන්වා දෙමින් බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළ අතර, ඒ අනුව ඔහු අද අධිකරණය හමුවට ඉදිරිපත් නොකෙරිණි. මහේස්ත්‍රාත්වරයා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ, මීළඟ නඩු දිනයේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ය. සැකකාර නාලක ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා කරුණු දක්වමින්, ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයට නාලක ද සිල්වා මහතා සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නොමැති බවට නිගමනය කර, බැඳුම්කරයක් මත සැකකරු මුදා හරින්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. එම ඉල්ලීම සලකා බලමින් කොටුව මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේ, විත්තියේ නීතිඥවරයා කළ එම ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන මස 9 වන දා නිකුත් කිරීමට ය.