ගාලු මුහුදේ හෙරොයින් ජාවාරම: තවත් තතු හෙළිවෙයි

ගාලු මුහුදේ හෙරොයින් ජාවාරම ගැන තවත් තතු හෙළිවෙයි

by Sagarika Chathumali 26-03-2019 | 11:31 AM
COLOMBO (News 1st): දකුණු මුහුදේදී ඉරාන යාත්‍රාවක් සමග අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය ඉරාන ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවා ඇති බව අනාවරණය වී තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, සිය භාරයට ගත් යාත්‍රාවේ සිට අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයින් 9 දෙනාගෙන් දෙදෙනෙකුගෙන් මේ වන විට ප්‍රශ්න කරගෙන යන බවයි. මෙම ජාවාරම කලක සිට සිදුකර ඇති බවට එහිදී තොරතුරු අනාවරණය වී තිබේ. සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබී සොයාගත් සැටලයිට් දුරකථනය ඔස්සේ, ඉදිරි විමර්ශන සිදුකරන බව ද පොලීසිය සඳහන් කළේ ය. යාත්‍රාවේ සිටි අත්අඩංගුවට ගත් ඉරාන යාත්‍රාවේ ජාතිකයින් 9 දෙනා ලබන 29 වැනිදා දක්වා රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය ඊයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබාදුන්නේ ය. ඒ සැකකාර ඉරාන ජාතිකයින් ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. එම සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඉරාන තනාපති කාර්යාලයේ භාෂා පරිවර්ථක සහය ලබාගන්නා ලෙස ද අධිකරණය නියෝග කළේ ය. මේ අතර ගාල්ල මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවලට වටිනාකම රුපියල් මිලියන 1072 ඉක්මවනු ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි යාත්‍රාවක් සමග ඉරාන ජාතිකයින් 9 දෙනෙකු, හෙරොයින් කිලෝග්‍රෑම් 107 යි ග්‍රෑම් 22 ක් සහ හඳුනා නොගත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 104 ක් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැනුණේ, ගාල්ලේ සිට නාවික සැතපුම් 10.5 ක් දුරින් සිදුකළ වැටලීමකදීයි. පෙර පුවත්.... 

දකුණු මුහුදේ හෙරොයින් ජාවාරම ගැන අලුත්ම හෙළිදරව්ව…