එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ ඇතැම් කරුණු වැරදි බව ඇය පිළිගත්තා - ආචාර්ය සුරේන් රාගවන්

by Staff writer 26-03-2019 | 9:11 PM
COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ ඇතුළත් ඇතැම් කරුණු නිවැරදි නොවන බවට ඇය පිළිගත් බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා පවසයි. මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ ඉදිරිපත් කිරීමෙන් පසු එහි තිබූ අඩුපාඩු රැසක් එතුමියට පෙන්වා දුන් බව රාගවන් මහතා සඳහන් කළේ ය. ඔහු මේ බව පැවසුවේ, ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. රාගවන් මහතා සඳහන් කළේ, මන්නාරම සමූහ මිනී වළෙන් හමු වූ මිනිස් අස්ථි සහ ඇටසැකිළි අතුරුදන් වූ පුද්ගලයින්ගේ බවට මහ කොමසාරිස්වරියගේ වාර්තාවෙන් නිගමනය කර තිබූ බව ය. කෙසේ වෙතත් මන්නාරම සමූහ මිනී වළෙන් ගත් අස්ථි කොටස් අමෙරිකාවේ බීටා ඇනලිටික් ආයතනය වෙත යොමු කර ලබා ගත් කාලනීර්ණ වාර්තාව මහ කොමසාරිස්වරියට පෙන්වා දෙමින් එතුමියගේ එම වැරදි අවබෝධය නිවැරදි කළ බව රාගවන් මහතා සඳහන් කළේ ය.