බැඳුම්කර වංචාවට PTL සභාපති ජෙෆ්රි අලෝසියස් ඇතුළු පස්දෙනෙක් රිමාන්ඩ්...

by Staff writer 25-03-2019 | 12:11 PM

COLOMBO (News 1st) : බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රී ඇලෝෂියස් යන මහත්වරුන් සහ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු ලබන 05 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ජෙෆ්රි ඇලෝසියස් මහතා, බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් මහතාගේ පියායි. ඔහු සමග පුෂ්පමිත්‍ර ගුණවර්ධන, චිත්‍රා රංජන් හුළුගල්ල, මුතුරාජ් සුරේන්ද්‍රයන් යන පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් අද අත්අඩංගුවට ගැනුණි. සැකකරුවන් වෙනුවෙන් ඕනෑම කොන්දේසියක් මත ඇප ඉල්ලා සිටි නීතිඥවරුන් පෙන්වා දුන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට තම සේවා දායකයින් උපරිම සහය ලබාදී ඇති බවයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා නඩුවේ දහවන සැකකරු ලෙස නම් කර ඇත. ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පැවසුවේ, ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව සිදු වූ 2015 පෙබරවාරි 27 වැනි දින ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිය සේවා දායකයා කටයුතු කර ඇති නමුත් ඔහු ඇතුළු නිලධාරීන් සියලු පියවර ගෙන ඇත්තේ එවක මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා දුන් උපදෙස් හා නියෝග මත බවයි. සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත්වී ඇත්තේ ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනතේ 56 වැනි වගන්තිය යටතේ ගැනෙන චෝදනා බවත් ඇප ලබාදීමේ හැකියාව මහේස්ත්‍රාත්වරයාට ඇති නමුත් බැඳුම්කර වංචාවෙන් රජයට විශාල අලාභයක් සිදුවී ඇති බවත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කරුණු සලකා බැලීමෙන් පසුව කියා සිටියා ය. මෙය බරපතළ වංචාවක් බැවින් සැකකරුවන්ට ඇප ලබා දුනහොත් සිදුවිය හැකි මහජන කැළඹීම කෙරෙහි අවධානය යොමු කොට ඇප පනතේ වගන්ති ප්‍රකාරව ඇප ලබා නොදීමේ බලයමත ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගන්නා බව මහේස්ත්‍රත්වරිය ප්‍රකාශ කර ඇත.