ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියේ ජය ද. අප්‍රිකාවට

ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියේ ජය ද. අප්‍රිකාවට

by Staff writer 25-03-2019 | 10:06 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග 3 ට 0 ක් ලෙස ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය. ඒ දෙරට අතර පැවැති තුන්වන හා අවසන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය ඩක්වත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු 45 කින් ජය ගනිමිනි. ජොහැන්ස්බර්ග්හිදී පැවති තරගයේ කාසිය වාසිය ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 198 ක් රැස් කළේ ය. එය වාර්තා අතරට එක්වුණේ, දකුණු අප්‍රිකා කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයක වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. එයිඩන් මාක්රම් ලකුණූ 15 ක් රැස් කළ අතර පන්දුවාර විස්සයි විස්ස දිවියේ සිව්වන අර්ධ ශතකය වාර්තා කළ රීසා හෙන්ඩ්රික්ස් ලකුණූ 66 ක් රැස් කළේ ය. නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් සිය මංගල විස්සයි විස්ස අර්ධ ශතකය වාර්තා කළ ඩ්වේන් ප්‍රටෝරියස් පන්දු 42 කදී හතරේ පහර 7 ක් හා හයේ පහර 3 ක් සමගින් රැස් කළ ලකුණූ සංඛ්‍යාව 77කි. නායක ජේපී ඩුමිනි නොදැවී ලකුණු 34 යි. පන්දු යැවීමේදී සුරංග ලක්මාල් හ ජෙෆ්රි වැන්ඩෙසී අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියහ. අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණූ 199 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 11යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 6 ක් දැවී තිබියදීයී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. ඒ අනුව තරගය ආරම්භ කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් තරගය පන්දුවාර 17 කට සීමා වූ අතර ඩක්වත් හා ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට එම පන්දුවාර 17 අවසානයේ හිමිවූ ඉලක්කය ලකුණු 183 කි. එම ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15 යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණූ 137 ක් පමණි. ඒ අනුව සත්කාරක දකුණූ අප්‍රිකා කණ්ඩායමට ඩක්වත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු 45 ක ජයක් හිමිවිය. ආරම්භක පිතිකරු නිරෝශන් දික්වැල්ල ලකුණු 38 ක් රැස් කළ අතර ඇන්ජෙලෝ පෙරේරා ලකුණූ 15 ක් රැස් කළේ ය. ඉසුරු උදාන දැවැන්ත හයේ පහර 4 ක් සමගින් රැස් කළ ලකුණු සංඛයාව 36කි. අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණූ 10 සීමාව පසු කිරීමට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් අවස්ථාව ලබා නොදුන්නේ ය. පන්දු යැවීමේදී ඇන්ඩිල් ෆිලෙක්වායෝ ලකුණු 24 ට කඩුලු 4 ක් දවා ගත් අතර ජූනියර් ඩාලා හා ලූතෝ සිපම්ලා කඩුලු 2 බැගින් දවා ගත්තේ ය.