විකාශන අයිතියේ මුදල් පිළිබඳ ක්‍රිකට් බලධාරීන් මුනිවත රකී

by Staff writer 25-03-2019 | 9:10 PM

COLOMBO (News 1st) - විකාශන අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමි විය යුතු විශාල මුදලක් වෙනත් ගිණුමකට මාරු කිරීමට ගත් උත්සාහයක් අනාවරණය වී අදට මාස 6 යි දින 15 ක් ගතව අවසන් වේ.

මේ ඒ පිළිබඳ මතකය අවදි කිරීමක්... ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවන ඉහළම මූල්‍යමය ප්‍රදාන හිමි වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හරහායි. අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන ඉහළම මූල්‍යමය ආදායම ලෙස සැලකිය හැක්කේ විකාශන අයිතිය වෙනුවෙන් මෙරටට හිමිවන මුදලයි. නමුත්, පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවිය යුතු එවැනි විශාල මුදලක් වෙනත් ගිණුමකට යැවීමට ගත් උත්සාහයක් පිළිබඳ තොරතුරු අනාවරණය විය. ඉහළ ශ්‍රේණියේ වැටුප් ලබමින් විධායක ශ්‍රේණියේ තනතුරු උසුලන ප්‍රධාන විධායක නිලධාරියා හා ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා මෙම අවස්ථාවේ සිය වෘත්තීයමය වගකීම් ඉටු කළා ද යන්න ගැටලුවකි. මෙතරම් විශාල මුදලක් පිළිබඳව සිදු කරන ගනුදෙනු මූල්‍ය අංශ ප්‍රධානියාට පමණක් තනිව සිදු කිරීමට ඉඩ දී බලා සිටීම මේ අතරින් ප්‍රධාන වන අතර අනෙක් කරුණ වන්නේ, මීට අදාළ සියලු සාකච්ඡා විද්‍යුත් තැපෑල හරහා සිදු කර තිබීමයි. පසුගිය වසරේ සැප්තැම්බර් 10 වැනි දා පළමු වරට එංගලන්ත සංචාරයේ විකාශන අයිතිය වෙනුවෙන් ලැබීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 5. 5ක මුදල වෙනත් ගිණුමකට යැවීමට ගත් උත්සාහය පිළිබඳ තොරතුරු අප වාර්තා කළෙමු. මෙම සිදුවීම පිළිබඳව සොයා බැලීමේදී අනාවරණය වූයේ, දකුණු අප්‍රිකානු සංචාරය වෙනුවෙන් ලැබිය යුතු අවසන් වාරිකය ද අමෙරිකානු ගිණුමක් වෙත යවා ඇති බවයි. පසුගිය වසරේ අගෝස්තු මස පළමුවැනිදා ලැබීමට තිබූ අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ අසූ හත් දහස් අසූ හතරයි ශත හැත්තැ පහක් වූ එම මුදල සිය ආයතනයට නොලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට්හි වගකිව යුතු නිලධාරීන් දැන ගන්නේ මාසයකුත් දින 10 කට පසුව වීම ද ගැටලු මතු කරන්නකි. අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් හුවමාරු වූ ලේඛනවල හිටපු සභාපතිවරයාට අයත් සමාගමක නිලධාරියෙකු ද අත්සන් තබා ඇති බව ප්‍රධාන විධායක නිලධාරිවරයා පිළිගෙන තිබේ. මේ සියල්ල අනාවරණය වී මාස 6 යි දින 15 ක් ගත වී ඇති පසුබිමක මෙහි ප්‍රගතිය හෝ වත්මන් තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අපොහොසත්වීම තවදුරටත් ගැටලු මතු කරන්නකි.