ලංකාවට හෙරොයින් ගෙනා ඉරාන ජාතිකයින් අද අධිකරණයට

ගාලු මුහුදෙන් ඇල්ලූ හෙරොයින්වල වටිනාකම මි. 1000 ඉක්මවයි

by Staff writer 25-03-2019 | 6:51 AM
COLOMBO (News 1st) : ගාල්ල මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවලට වටිනාකම රුපියල් මිලියන 1072 ඉක්මවනු ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි යාත්‍රාවක් සමග ඉරාන ජාතිකයින් 9 දෙනෙකු, හෙරොයින් කිලෝ107 යි ග්‍රෑම් 22 ක් සහ හඳුනා නොගත් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 104 ක් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැණුනේ ගාල්ලේ සිට නාවික සැතපුම් 10.5 ක් දුරින් සිදුකල වැටලීමකදීයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරියෙකුට ලද තොරතුරක් අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා නාවික හමුදාව එක්ව මෙම වැටලීම සිදුකර තිබිණ. එහිදී සැකකරුවන් සන්තකයේ තිබූ ජංගම දුරකතන 9 ක්, සැටලයිට් දුරකතනයක් ද මෙරට ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ. සැකකාර ඉරාන ජාතිකයින් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ. මේ අතර පොලීසිය පැවසුවේ, සැකකරුවන් දින 7ක් රඳවා තබා ප්‍රශ්න කිරිමට අධිකරණයේ අවසර ලබා ගැනීමට පියවර ගන්නා බවයි. අත්අඩංගුවට පත් ඉරාන ජාතිකයින් 9 දෙනාගෙන් ප්‍රශ්න කිරිම සඳහා ඉරාන තනාපති කාර්යාලයේ භාෂා පරිවර්තක සහය ලබා ගැනීමට ද සැලසුම් කර තිබේ. අදාළ ඉරාන යාත්‍රාව ඊයේ පස්වරුවේ කොළඹ වරාය වෙත රැගෙන එනු ලැබී ය. යාත්‍රාවේ තිබී සොයා ගත් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 107යි ග්‍රෑම් 22කි.

පෙර පුවතට පහතින් පිවිසෙන්න...

දකුණු මුහුදේ හෙරොයින් ජාවාරම ගැන අලුත්ම හෙළිදරව්ව…