ප්‍රකාශිත සැලසුමට අනුව විදුලිය කප්පාදුව අද සිට

by Staff writer 25-03-2019 | 7:45 PM

COLOMBO (News 1st) - ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශයට පත් කර ඇති කාලරාමුවට අනුව අද සිට විදුලිය කප්පාදු කිරීමට පියවර ගෙන තිබේ.

නිසි අවසරයකින් තොරව මෙම විදුලි කප්පාදුව සිදුවන බැවින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව මණ්ඩලයේ නියාමන අධිකාරිය වන මහජන උපයෝගිතා කොමිසම පවසයි. දිවා කාලයේදී පැය 03ක් සහ රාත්‍රී කාලයේදී පැයක් වශයෙන් දිනකට පැය 04 ක් විදුලිය කපා හැරීමට ලංකා විදුලි බල මණ්ඩඩලය පියවර ගෙන තිබේ. මණ්ඩලය නිකුත් කර ඇති කාලරාමුව අනුව විදුලි කප්පාදුව සිදුවන්නේ, පෙරවරු 8.30 - 11.30 ත් හෝ දහවල් 11.30 - 2.30 ත් හෝ පස්වරු 2.30 - 5.30 ත් අතර පැය 03 ක කාලයක්. රාත්‍රී කාලයේදී පස්වරු 6.30 - 9.30 ත් අතර පැයක කාලයක් විදුලිය කප්පාදු කරනු ඇති. විදුලිය කපා හැරීම සඳහා මණ්ඩලය විසින් මෙතෙක් අවසරයක් ලබා ගෙන නොමැති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. කොමිසම පවසන්නේ, සැලසුම් සහගතව සිදු කරන මෙවැනි විදුලිය කපා හැරීම් සඳහා අනුමැතිය ලබා ගත යුතු බවයි. මේ අතර විදුලි අර්බුදය සම්බන්ධයෙන් අද අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් ද පැවැත්විය.