"ට්‍රම්ප්ට එරෙහි චෝදනා ඔප්පුකිරීමට සාක්ෂි නැහැ"

ට්‍රම්ප්ට එරෙහි චෝදනා ඔප්පුකිරීමට සාක්ෂි නැහැ- රොබර් මුලර්

by Staff writer 25-03-2019 | 9:56 AM
COLOMBO (News 1st) : අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය, 2016 වසරේ ජනාධිපතිවරණය ජය ගැනීමට රුසියාව සමග කුමන්ත්‍රණය කර නැතැයි ඊට අදාළ විමර්ශනය මෙහෙයවූ විශේෂ උපදේශක රොබර් මුලර් පවසයි. එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජනපති ට්‍රම්ප්ට එරෙහි එම චෝදනා ඔප්පුකිරීමට කිසිදු සාක්ෂියක් හමුනොවූ බවයි. රොබට් මුලර්ගේ මීට අදාළ වාර්තාව අමෙරිකානු කොංග්‍රසයට ඉදිරිපත් කළේ, ඊයේ වන අතර අමෙරිකානු නීතිපති විලියම් බාර් එම වාර්තාව කොංග්‍රසයට ඉදිරිපත් කිරීමට සාරාංශගත කර තිබිණ. ජනාධිපති ට්‍රම්ප් නීතිය කඩකළ බව ඔප්පුකිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි හමුව නැතැයි ද අමෙරිකානු නීතිපතිවරයා කියා සිටියේ ය. අමෙරිකානු ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් කියා සිටියේ කිසිදු කුමන්ත්‍රණයක් හෝ අවහිරකිරීමක් සිදුව නැති බවයි. තමන්ට එරෙහිව පැවති මෙම විමර්ශනය නිරතුරු විවේචනය කළ ජනපති ට්‍රම්ප්, අමෙරිකාවට මෙවැනි දෙයකට මුහුණදීමට සිදුවීම ලජ්ජාසහගත කරුණක් බව සඳහන් කළේ, එම විමර්ශනය අසාර්ථකවූ නීතිවිරෝධී ක්‍රියාවක් බව පවසමිනි. වසර දෙකක කාලයක් පැවති මෙම විමර්ශනයෙන් බන්ධනාගාරගත කර සිටින හෝ මේ වනවිට නඩු ගොනුකර ඇති ජනාධිපති ට්‍රම්ප්ගේ සමීපතම ආධාරකරුවන් වූ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කෙරිණ. කෙසේ වෙතත් මූලර් සිය වාර්තාවෙන් පවසන්නේ මෙමඟින් ජනාධිපතිවරයා අපරාධයක් සිදුකළ බව නිගමනය නොකරන නමුත් ඉන් ඔහු සම්පූර්ණයෙන් ම වරදින් නිදහස් නොකරන බවයි. මෙම වාර්තාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩිමොක්‍රැටික් සෙනෙට් සභා කථානායක නැන්සි පොලෝසි සහ සෙනෙට් සභාවේ ඩිමොක්‍රැටික් නායක චක් ෂූමර් සඳහන් කළේ, මුලර්ගේ වාර්තාවට අදාල නීතිපතිවරයාගේ ලිපියෙන් පිළිතුරුවලට සමාන ප්‍රශ්න ගණනාවක් යළි උද්ගත කළ බවයි. මෙම වාර්තාවේ අන්තර්ගත තොරතුරුවලින් ජනතාවට ඉදිරිපත්කරන තොරතුරු ප්‍රමාණය පිළිබඳව මෙතෙක් පැහැදිලි සඳහනක් කර නොමැත.