හැව්ලොක් කණ්ඩායම ක්ලිෆර්ඩ් කුසලානය දිනා ගනී

හැව්ලොක් කණ්ඩායම ක්ලිෆර්ඩ් කුසලානය දිනා ගනී

by Staff writer 24-03-2019 | 7:34 PM
COLOMBO (News 1st) : හැව්ලොක් ක්‍රීඩා සමාජය මෙවර ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලිය අද ජය ගත්තේ ය. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමිනි. ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වුණේ කොළඹ තුරග තරග පිටියේදීයි. ආරම්භයේ සිටම එහි ඉදිරියෙන් පසුවීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත්විය. ඔවුන් පළමු අර්ධයේදී උත්සාහක දිනුම් 3ක් සහ ප්‍රවර්ථන 3ක් මගින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 21කි. ගුවන් හමුදා කණ්ඩායමට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 14ක් පමණි. දෙවැනි අර්ධයේදී වැඩි දක්ෂතා දැක්වූ හැව්ලොක් ක්‍රීඩකයෝ තවත් ලකුණු 16ක් රැස් කළහ. ප්‍රතිවාදී ගුවන් හමුදා කණ්ඩායමට එම අර්ධයේදී රැස් කළේ ලකුණු 7 ක් පමණි. ඒ අනුව ලකුණු 37ට 21ක් ලෙස හැව්ලොක් කණ්ඩායම තරගය ජය ගත්තේ ය. ඔවුන් රැස් කළ ලකුණු 37ට උත්සාහක දිනුම් 4ක්, ප්‍රවර්ථන 4ක් සහ දඬුවම් පහර 3ක් ඇතුළත් විය.