බැඳුම්කර කොමිසම් වාර්තාව ප්‍රසිද්ධ කරන්නේ කවදා ද?

මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට තවත් ලිපි ගොනු සිංගප්පුරුවට....

by Staff writer 24-03-2019 | 7:22 PM
COLOMBO (News 1st) : හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට අදාළ තවත් ලිපි ගොනු කිහිපයක් සිංගප්පූරුව වෙත යොමු කිරීමට පියවර ගනිමින් සිටින බව, නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු සඳහන් කළේ, එරට රජය තවත් ලිපි ලේඛන කිහිපයක් අවශ්‍ය බවට කළ දැනුම් දීමක් මත එම ලිපි ගොනු සකස් කිරීම සිදුකරන බවයි. අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව ඉදිරිපත් කළ හැකි චෝදනා ඇතුළු ලිපි ගොනු කිහිපයක් එලෙස සිංගප්පූරු රජය විසින් ඉල්ලා තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, මීට පෙර යොමු කළ ලිපි ගොනුවලට අමතරව මෙම ලිපි ලේඛන යොමු කිරීමට නියමිතව ඇති බවයි. හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය යැයි දන්වා ඇති එම ලේඛන කඩිනමින් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා යොමු කිරීමට පියවර ගන්නා බව ද, නීතිපති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සහ හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාකරන නීතිපති දෙපාර්තමේන්තුවේ විශේෂ කමිටුව විසින් මෙම කටයුතු ද මෙහෙයවනු ලබන බව, එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා අනාවරණය කළේ ය. නීතිපති දෙපාර්තමේන්තුව මෙම කටයුතු කරනවා සේම, බැඳුම්කර කොමිසම් වාර්තාව ප්‍රසිද්ධ කිරීමට ද පියවර ගත යුතු නොවේ ද.? එම වාර්තාව සිය ඔඩොක්කුවේ තබාගෙන නොසිට, එය ජනතාව හමුවට ඉදිරිපත් කරන්නේ කවදා ද යන්න පිළිබඳවත් ජනතාව අවධියෙන් පසුවේ. බැඳුම්කර වංචාව හා ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව අදත් දේශපාලන වේදිකාවේ අදහස් පළ විය. මේ අතර ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා අද පැවති ජන හමුවකදී පැවසුවේ, බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන සැකකරු රනිල් වික්‍රමසිංහ මහතා බවයි.
"රනිල් වික්‍රමසිංහ හොරකම් කරේ නැද්ද? රනිල් වික්‍රමසිංහ හොරකම් කරා.බැදුම්කර ගනුදෙනුවේ ප්‍රධාන සැකකරුවා රනිල් වික්‍රමසිංහ. පුළුවන්නම් රනිල් වික්‍රමසිංහ නෑ කියන්න. කෝප් සභාවේ පරීක්ෂණ යනකොට හවස 2ට කෝප් සභාව රැස්වෙනවා. උදේ 10ට අරලියගහ මන්දිරයට කෝප් සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් කැදෙව්වා. රනිල් මුලසුන ගත්තා. මහබැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් තව පැත්තක වාඩි වුණා. වාඩිවෙලා කොප් සභාවට ගියපුවාම අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න උත්තර හදලා දුන්නේ කවුද? හොරා...අර්ජුන් මහේන්ද්‍රන්. මුලසුනේ රනිල් වික්‍රමසිංහ.මෙහෙමයි සැලසුම් කරන්නේ. ඒ නිසා මේ අගමැතිධූරය මහජනයාගේ දේඵල හොරකම් කරන්න ලයිසන් එකක් අපේ රටේ"
මේ අතර ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පැවසුවේ, 2008 / 2012 කාලයේ සේවක අර්ථසාධක අරමුදල කොල්ල කෑමක් සිදුවූ බවයි.
"රාජපක්ෂ මහත්තයා මතක ඇති විශ්‍රාම වැටුපක් ගේනවා කියලා පනතක් පෞද්ගලික අංශ සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළදපොලට දාලා. ආන් ආපහු වික්‍රමසිංහ ගොයියා වැඩේ පටන් අරගන්න හදනවා. සේවක අර්ථසාධක අරමුදල අයිති මේ රටේ වැඩ කරන කම්කරුවන්ට.වික්‍රමසිංහ කොහොමද එහෙම කතා කියන්නේ. 2008 / 2012 කාලේ කොටස් වෙළදපොලේ දාලා සේවක අර්ථසාධක අරමුදල කොල්ල කෑවා අර්ජුන් ඇලෝසියස් එක්ක මහින්ද රාජපන්ෂ කාලේ. රාජපක්ෂ මහත්තයා ගියාට පස්සේ අර්ජුන් ඇලෝසියස් එක්ක එකතුවෙලා පෙබරවාරි මාසේ දුන්නා ආපහු අර්ථසාධක අරමුදලට දුන්නා වැඩේ රනිල් වික්‍රමසිංහලා මහබැංකුව බිදලා. දැන් අර්ජුන් ඇලෝසියස් ආපහු ඇප එක්ක එළියේ ඉන්නේ මිනිහාට වැඩ නැහැ. වැඩ දෙන්න ආපහු අර්ථසාධක අරමුදල දාන්න හදනවා මොකටද කොටස් වෙළදපොලේ මොකක්ද මේ කරන්න හදන්නේ. දැන් ආපහු හදනවා 2019 ඡන්දේට සේවක අර්ථසාධක අරමුදල කොටස්වෙළද පොලට දාලා අර්ජුන් ඇලෝසියස්ට වැඩ දීලා ඡන්දෙට සල්ලි හොයන්න වික්‍රමසිංහ මහත්තයා. ඒ නිසා අපි කියනවා 3න් 2 ක බලයක් තිබිච්ච රාජපක්ෂ මහත්තයාව 2011 දණ ගස්සන්න නායකත්වය දුන්න මේ රටේ පෞද්ගලික අංශයේ විශාලම වෘත්තීය සමීතිය අන්තර් සමාගම් සේවක සංගමය අපි ඒ නිසා වික්‍රමසිංහ මහත්තයාට කියනවා 11 ඉතිහාසය කියවන්න 3න් 2ක් නෙමෙයි 3න් 1 අඩුගානේ සරල බහුතරයවත් පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට නෑ සේවක අර්ථසාධක අරමුදලට කිසිසේත් අත තියන්න දෙන්නේ නෑ."
https://www.youtube.com/watch?v=trmRLJ63RcQ