බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් ලන්ඩනයේ විරෝධතාවක්

බ්‍රෙක්සිට් සඳහා නව ජනමත විචාරණයක් ඉල්ලා ලන්ඩනයේ විරෝධතාවක්

by Staff writer 24-03-2019 | 7:40 AM

බ්‍රෙක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් යළිත් වරක් ජනමත විචාරණයක් පවත්වන ලෙස ඉල්ලා මධ්‍යම ලන්ඩනයට රැස් වූ පුද්ගලයන් දහස් ගණනක් විරෝධතා පා ගමනක නිරත විය.

ඒ, බ්‍රෙක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් නිසි එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම හමුවේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැඩි අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවකදීයි. මෙම රැළියට එක් ව සිටින මිලියන ගණනක පුද්ගලයන්යින් බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත්වනවා ද නැද්ද යන්න තීරණය කිරීමට ජනතාවට ඉඩ දෙන්නැයි ඉල්ලා සිටින බව මෙම විරෝධතා පාගමනේ සංවිධායකයින් පවසති. යුරෝපා සංගමයේ ධජ රැගත් විරෝධතාකරුවන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට ද රැඳී සිටියහ. බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ දිනය ලබන 29 වැනි දාට යෙදන අතර එය ප්‍රමාද කිරීමට යුරෝපීය නායකයන් පසුගිය බ්‍රහස්පතින්දා එකඟවිණි. දෙවරක්ම පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වූ බ්‍රෙක්සිට් ගිවිසුම, තෙවැනි වරටත් පාර්ලිමේන්තු ඡන්ද විමසීමකට ලක් කිරීමේ සැලසුම් ඉවත දැමීමට සිදුවනු ඇතැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ පවසා තිබේ. මේ හේතුවෙන් ඇය ධූරයෙන් ඉවත්වීමේ අවදානමකට මුහුණ පා ඇතැයි ද දේශපාලන විචාරකයින් පවසති. මෙම විරෝධතා පා ගමනට, බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ නියෝජ්‍ය නායක ටොම් වොට්සන්, ලන්ඩන් නගරාධිපති සදීක් ඛාන්, හිටපු බ්‍රිතාන්‍ය නීතිපති ඩොමිනික් ග්‍රීව් යන අය ද එක් ව සිටි. තෙරේසා මේගේ බ්‍රෙක්සිට් ගිවිසුමට මන්ත්‍රීවරුන් එකඟ නොවන්නේ නම් බ්‍රිතාන්‍යයට යළිත් විකල්ප සැලසුමකට එළඹීමට හෝ අප්‍රේල් 12 දින එකඟතාවයකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීමට හෝ සිදුවනු ඇති.