දකුණු මුහුදේ හෙරොයින් මෙහෙයුම....

දකුණු මුහුදේ හෙරොයින් ජාවාරම ගැන අලුත්ම හෙළිදරව්ව...

by Sagarika Chathumali 24-03-2019 | 6:41 PM
COLOMBO (News 1st) : අද උදෑසන දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 107යි ග්‍රෑම් 22 මෙරට සිටින හෙරොයින් ජාවාරම්කරුවෙකුට ලබා දීම සඳහා රැගෙන එමින් සිට ඇති බව හෙළිවී තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පොලිස් අධිකාරි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසුවේ, හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 9 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි. මෙම ජාවාරම පාකිස්ථානයේ හෝ ඉරානයේ සිටින ප්‍රබල ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවනු ලැබ ඇති බව මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී හෙළි වී තිබේ.

දකුණු මුහුදේ රාත්‍රී මෙහෙයුමක්....

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා නාවික හමුදාව එකාබද්ධව මෙම මෙහෙයුම සිදු කර තිබේ. මෙහෙයුම සඳහා නිලධාරීන් ඊයේ රාත්‍රී ගාල්ල නාවික හමුදා කඳවුරෙන් පිටත්ව ගොස් ඇති අතර මෙහෙයුමට අදාළ අත්අඩංගුවට ගැනීම අද උදෑසන සිදු කර ඇත්තේ, ගාල්ල, අකුරල සිට නාවික සැතපුම් 10.5ක් දුරින් මෙරට මුහුදු සීමාවේදීයි. පොහොර උර 4ක් තුළ පාර්සල් 99ක හෙරොයින් තොගය අසුරා තිබූ බව පොලීසිය පවසයි. සැකකරුවන් ධීවරයින් ලෙස පෙනී සිටි ඇතත් ඔවුන් කිසිදු ධීවර කටයුතුත්ක නිරතව සිට නොමැති බව නිරීක්ෂණ වී ඇත. ට්‍රෝලර් යාත්‍රාවේ තිබී සැටලයිට් දුරකථනයක් සහ ජංගම දුරකත 9ක් ද පොලිස් භාරයට ගෙන තිබේ. ඊට අමතරව ට්‍රෝලර් යාත්‍රාවේ දින 15කට සරිලන ආහාර සහ ජලය තිබී ඇති අතර යාත්‍රාව මීට දින 14කට පෙර ඉරානයේ කොනාක් ධීවර වරායෙන් පිටත්ව ඇති බවට අනුමාන කෙරෙයි. හෙරොයින් සමග අත්අඩංගුවට සැකකරුවන් සහ යාත්‍රාව අද පස්වරුවේ කොළඹ වාරායේ නාවික හමුදා රංගල ජටියට රැගනවිත් තිබේ.

විදේශිකයින් මෙරටට ගෙනා හෙරොයින්....

2019 වසරේ මේ දක්වා විෂ මත්ද්‍රව්‍ය සමග විදේශිකයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තබේ. පසුගිය ජනවාරි 31 වනදා කටුනායකදී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 400ක් සමග ඉරාන ජාතික කාන්තාවක පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අත්අඩංගුවට පත් විය . ඒ අනුව වසරේ මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති ඉරාන ජාතිකයින් සංඛ්‍යාව 10කි. 2018 වසරේදී මත්ද්‍රව්‍ය සමග විදේශිකයින් 41 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 2016 වසරේ විදේශිකයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 10 දෙනෙකු ඉරාන ජාතිකයින් බව පොලීසිය පැවසී ය. 2018 වසර පුරා කළ මෙහෙයුම්වලින් හෙරොයින් කිලෝ 732ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහෙත් 2019 වසරේ ගෙවීගිය කාලය (මාස 3) තුළ පමණක් එම සීමාව ඉක්වමින් මේ වනවිට හෙරොයින් කිලෝ 840 කුත් ග්‍රෑම් 55ක් පොලිස් භාරයට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සොයා බැලීමට ජාත්‍යන්තර කණ්ඩායමක් දිවයිනට...

මේ අතර මෙරට තුළ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජාත්‍යනත්ර මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ නිලධාරි කණ්ඩායමක් හෙට දිවයිනට පැමිණිමට නියමිතයි. හෙට දිවයිනට පැමිණිනෙන ඔවුන් ලබන 28 වැනිදා දක්වා මෙරට රැඳී සිටිනු ඇති. පොලීසිය පැවසුවේ, එම කාලය තුළ ඔවුන් මෙරට ආරක්ෂක අංශ ප්‍රධානීන්, දේශාපලනඥයින් ඇතුළු පිරිසක් හමුව සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි. පසුගිය 18 වැනිදා සිට 22 වැනිදා දක්වා ඔස්ට්‍රියාවේ වියානා නුවර පැවති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශ සමුළුවේදී මෙරට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය මැඩලීමේ ක්‍රියාන්විතය පිළිබඳව අවධානය යොමු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම කණ්ඩායම මෙරට පැමිණෙන බව පොලීසිය පැවසී ය.

මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පිළිබඳ සංගණනයක්...

මේ අතර, මෙරට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පිළිබඳ සංගණනයක් ආරම්භ කිරීමට මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කර තිබේ. එහි අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලාවරච්චි මහතා‍ සඳහන් කළේ, මෙම සංගණනය අප්‍රේල් මස 01 සිට 10 වනදා දක්වා දීප ව්‍යාප්ත මට්ටමින් සිදු කිරීමට නියමිත බවයි. https://www.youtube.com/watch?v=oQVwWFesiF0   ඡායාරූප : ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය