අර්ජුන ගෙන්වා ගැනීමට තව ත් ලියකියවිලි සිංගප්පුරුවට

අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා තව ත් ලිපි ගොනු කිහිපයක් සිංගප්පුරුවට

by Hashini De Mel 24-03-2019 | 6:55 AM

COLOMBO (News 1st) - හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට අදාළ තව ත් ලිපි ගොනු කිහිපයක් සිංගප්පුරුව වෙත යොමු කිරීමට පියවර ගනිමින් සිටින බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, එරට රජය මගින් තව ත් ලිපි ලේඛන කිහිපයක් අවශ්‍ය බව කළ දැනුම්දීමක් මත එම ලිපි ගොනු සකස් කිරීම සිදු කරන බවයි. අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව ඉදිරිපත් කළ හැකි චෝදනා ඇතුළු ලිපි ගොනු කිහිපයක් එළෙස සිංගප්පුරු රජය විසින් ඉල්ලා තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, මීට පෙර යොමු කළ ලිපි ගොනුවලට අමතරව මෙම ලිපි ලේඛන යොමු කිරීමට නියමිතව ඇති බවයි. හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය යැයි දන්වා ඇති එම ලේඛන කඩිනමින් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා යොමු කිරීමට පියවර ගන්නා බව ද නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සහ හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාකරන නීතිපති දෙපාර්තමේන්තුවේ විශේෂ කමිටුව විසින් මෙම කටයුතු ද මෙහෙයවන බව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා අනාවරණ කර තිබේ.