15 වන රයිගම් සම්මාන උළෙලේදී නිව්ස්ෆස්ට් හා සිරස TV සම්මාන රැසකින් පිදුම් ලබයි

by Staff writer 23-03-2019 | 10:09 PM
COLOMBO (News 1st) - 15 වන රයිගම් ටෙලි සම්මාන උළෙල මේ වන විට නෙළුම් පොකුණ මහින්ද රාජක්ෂ රඟහලේදී පැවැත්වේ. එහිදී නිව්ස්ෆස්ට් හා සිරස TV සම්මාන රැසකින් පිදුම් ලැබුවේ ය. වසරේ විශිෂ්ටතම රූපවාහිනී කථිකා වැඩසටහන ලෙස 15 වන රයිගම් ටෙලි සම්මානයෙන් පිදුම් ලැබු‍වේ ගම් නියම්ගම්හි ජනතා ගැටලු පිළිබඳව බලධාරීන් හා ජනතාව එකම වේදිකාවකට ගෙන ආ ගම්මැද්ද ප්‍රාදේශීය මණ්ඩපයයි. වසරේ විශිෂ්ටතම සිංහල මාධ්‍ය රූපවාහිනී සම්ප්‍රවේශක ලෙස සම්මානට පාත්‍ර වූයේ, සිරස TV හා නිව්ස්ෆස්ට් නිවේදිකා චානු දිසානායකයි. වසරේ විශිෂ්ටතම ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස මෙවරත් සම්මාන දිනා ගැනීමට නිව්ස්ෆස්ට්හි බර්නඩින් ජයසිංහ සමත් වූවා ය. වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන ලෙස මෙවර සම්මානයෙන් පිදුම් ලැබුවේ, සිරස TV ඔස්සේ විකාශය වූ සුළං කුරුල්ලෝ වැඩසටහනයි. වසරේ විශිෂ්ටතම රූපවාහිනී රියැලිටි වැඩසටහන ලෙස ශ්‍රී ලංකාස් ගොට් ටැලන්ට් රයිගම් ටෙලි සම්මානය දිනා ගත්තේ ය. මේ සම්මාන සියල්ල සමගින් 15 වන රයිගම් ටෙලි සම්මාන උළෙලේ රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන කාණ්ඩයේ සම්මානනීය මාධ්‍ය වැඩසටහන් නාලිකා ලෙස සම සම්මානයට පාත්‍ර වූයේ සිරස TV හා ටී.වී. දෙරණයි. ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන කාණ්ඩයේදී ද සිරස TV සම්මාන රැසකින් පිදුම් ලැබුවේ ය. සිරස TVහි විකාශය වූ මිනිගං දෑල ටෙලි නාට්‍යයේ හීං මස්සිනාගේ චරිතය හා ස්වර්ණවාහිනියේ විකාශය වූ පාලි ටෙලි නාට්‍යයේ සපුමල්ගේ චරිතය නිරූපනය කළ අංජන ප්‍රේමරත්න මෙහිදී ජූරියේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබුවේ ය. එමෙන් ම මිනිගං දෑල ටෙලි නාට්‍යයේ නිර්මාන වෑයම වෙනුවෙන් ද මෙහිදී ජූරියේ ඇගයීම හිමි විය.