මාලිංග ලෝක කුසලානය වෙනුවෙන් IPL අත්හරී

මාලිංග ලෝක කුසලානය වෙනුවෙන් IPL අත්හරී

by Staff writer 23-03-2019 | 9:16 PM
COLOMBO (News 1st) - මෙවර අයි.පී.එල් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේදී තමා වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු යොදා ගැනීම පිළිබඳව අකමැත්තක් නොමැති බවට ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් නායක ලසිත් මාලිංග, මුම්බායි ඉන්ඩියන්ස් කළමනාකාරිත්වයට දන්වා තිබේ. ඒ, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමට පවත්වන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියට ඔහුට සහභාගී වීමට සිදු වීම හේතුවෙනි. ලබන 4 වන දා ආරම්භ වන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියට එක්වන ක්‍රීඩකයින් අතරින් එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරා ගන්නා බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලිපියක් මගින් මාලිංගට දන්වා තිබේ. එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, මාලිංග අයි.පී.එල් තරගාවලිය නියෝජනය කිරීම පිළිබඳව තම ආයතනයේ විරුද්ධත්වයක් නොමැති නමුත්, අන්තර් පළාත් තරගාවලියේ ගාල්ල කණ්ඩායමේ නායකත්වයට මාලිංග පත් කර ඇති බවට ය. ඒ අනුව තමා මෙම පළාත් තරගාවලියට සහභාගී වීමට තීරණය කළ බවට මාලිංග උපුටා දක්වන විදෙස් වාර්තා පවසයි. මෙරට අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් ලසිත් මාලිංගට මෙවර අයි.පී.එල් තරගාවලියේ මුල් තරග 6 අහිමි වේ. ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයෙන් අනතුරුව මාලිංග ජාත්‍යන්තර තරග බිමෙන් සමු ගැනීමට නියමිත ය.