මන්නාරම සමූහ මිනී වළේ කැණීම් කටයුතු අත්හිටුවයි

මන්නාරම සමූහ මිනී වළේ කැණීම් කටයුතු අත්හිටුවයි

by Staff writer 23-03-2019 | 2:47 PM
COLOMBO (News 1st) - මන්නාරම සමූහ මිනී වළේ කැණීම් කටයුතු තවත් මාස 03කට අත්හිටුවීමට මන්නාරම මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතා නියෝග කර තිබේ. කැණීම් කටයුතු යළි ආරම්භ කරන දිනය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ ටී. සරවනරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි. ඊට සහභාගී වූ නිලධාරියෙකු සඳහන් කළේ, මන්නාරම සමූහ මිනී වළ සඳහා ඉදිරි සති කිහිපය තුළ පොලිස් ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ බව ය. සමූහ මිනී වළෙහි වෝහාරික කටයුතු භාර මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් සකස් කරන ලද වාර්තාවක් සහ වෛද්‍ය වාර්තාවක් ඇතුළු තවත් වාර්තා කිහිපයක් මාස තුනක් තුළ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි සරවනරාජා මහතා එහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. එම වාර්තාවලින් අනතුරුව යළි කැණීම් ආරම්භ කරන දිනයක් පිළිබඳව තීරණය කරනු ඇති. මන්නාරම සමූහ මිනී වළ සම්බන්ධයෙන් අමෙරිකාවේ බීටා ඇනලිටික් ආයතනය නිකුත් කළ කාබන් කාල නීර්ණ වාර්තාව පසුගියදා මන්නාරම මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතාට භාර දුන්නේ ය. එහිදී හෙළි වූයේ, එම මිනිස් අස්ථි කොටස් මීට වසර 350 - 600 අතර කාලයේ මිය ගිය පුද්ගලයින් පිරිසකගේ බව ය. අනතුරුව මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 08 වන දා නියෝග කළේ, කැණීම් කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙස ය. පසුගිය වසරේ මාර්තු මාසයේදී මන්නාරම සතොස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා පොළව කැණීමේදී අස්ථි කොටසක් සොයා ගැනීමත් සමග එම ස්ථානයේ කැණීම් ආරම්භ කෙරිණි. මේ වන විට එම ස්ථානයෙන් සොයා ගෙන ඇති ඇටසැකිළි සංඛ්‍යාව 355කි.