ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්නැයි යෝජනාවක් ?

ත්‍රිපිටකය ලෝක උරුමයක් කෙරෙන යෝජනාව ප්‍රකාශයට පත් කිරීම අද

by Staff writer 23-03-2019 | 6:51 AM

COLOMBO (News 1st) - ථේරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කරන ලෙස යුනෙස්කෝ සංවිධානයට කෙරෙන යෝජනාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද සිදු කෙරේ.

ඒ, ත්‍රෛනිකායිකා මහා නායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවේ පැවැත්වෙන උත්සවයකදීයි. උත්සවය අද පස්වරු 2.00 ට ආරම්භ කිරීමට නියමිත වේ. ථේරවාද බෞද්ධ රටවල සාමූහිකත්වයෙන් ශ්‍රී ලංකාව මෙම යෝජනාව ඉදිරිපත් කරනු ඇති. නිර්මල බුදු දහමේ චිරස්ථිථිය උදෙසා ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම ජනාධිපතිතුමාගේ යෝජනාවකට අනුව පසුගිය දා සිදු කෙරුණි. ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කරන ලෙසට යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කෙරෙන යෝජනාවට පූර්වගාමීව ත්‍රිපිටකාභිවන්දනා සතියක් ද ක්‍රියාත්මක විය. පසුගිය 16 වැනි දා ආරම්භ වූ එම සතිය අදින් අවසන්වීමට නියමිතයි. මෙම සතිය තුළ පාසල් සිසුන්, දහම් පාසල් දරුවන්, රාජ්‍ය ආයතන ඇතුළු සමස්ත ප්‍රජාවම නියෝජනය වන පරිදි ත්‍රිපිටකය පිළිබඳවත් බුදුදහම පිළිබඳවත් දාන ශීල භාවනාදි පුණ්‍ය ක්‍රියාවන් පිළිබඳවත් සමාජය දැනුවත් කිරීමට පියවර ගත් බව ජනාධිපති කාර්යාලය සඳහන් කළේ ය. අද පැවැත්වෙන මෙම උත්සවයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හානා සිංගර් මහත්මිය ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයින් හා විදෙස් තානාපතිවරු, මහ කොමසාරිස්වරු ඇතුළු දෙස් විදෙස් නියෝජිතයින් රැසක් සහභාගිවීමට නියමිතයි.