ඉන්ෆ්ලුවෙන්සා හිස ඔසවන ලකුණු...

ඉන්ෆ්ලුවෙන්සා හිස ඔසවන ලකුණු...

by Staff writer 23-03-2019 | 7:24 AM

COLOMBO (News 1st) - ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වාර්තාවීමේ සුළු වැඩිවීමක් දක්නට ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පවසයි.

අධ්‍යක්ෂවරයා පැවසුවේ, රෝහලෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් අතරින් 73 දෙනෙකු ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් බවට සනාථවී ඇති බවයි. මේ අතර ගර්භනී හෝ පසු ප්‍රසව මව්වරු උණ වැළදුණු පළමු දිනයේම රෝහල් ගතවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්දීමක් කරයි. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසූවේ, සියලුම වෛද්‍ය ආයතනවලට, රජයේ හා පෞද්ගලික වෛද්‍යවරුන්, බාහිර රෝගී අංශවලට සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් නිකුත් කර ඇති බවයි. ගර්භනී හා පසු ප්‍රසව මව්වරුන් උණ වැළදුණු පළමු දිනයේම රෝහල් ගත කිරීමෙන් ඔවුන්ට විශේෂිත ප්‍රතිකාර ලබාදිය හැකි බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කළේ ය. විශේෂයෙන් ගර්භනී මව්වරුන්, සෙම්ප්‍රතිශා සහ උණ රෝග ඇති අය අසළට යාමෙන් සහ වැඩි වශයෙන් ජනතාව ගැවසෙන ස්ථානවලට යාමෙන් වලකින ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය. මේ දිනවල පැතිරී යන ඩෙංගු සහ ඉන්ෆුවෙන්සා රෝග වළදුණු ගර්භනී මව්වරුන් අනෙකුත් පුද්ගලයින්ට වඩා වැඩි අවදානම් තත්ත්වයකට සහ උග්‍ර සංකූලතාවලට ලක්වීමට ඉඩ ඇති බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම උපදෙස් නිකුත් කර තිබේ.