විල්පත්තු වන සංහාරයට එරෙහි පෙත්සම් විභාගයට අභියාචනාධිකරණයෙන් අවසර

by Hashini De Mel 22-03-2019 | 9:54 PM

COLOMBO (News 1st) - විල්පත්තු වන විනාශය පිළිබඳ යළි ත් සාකච්ඡාවට ලක්වෙන්න පටන් ගෙන තිබේ.

එනම් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විල්පත්තු වන විනාශය ගැන සංවාදයට ලක්වෙමින් පවති. නමුත් විල්පත්තු වන විනාශය පිළිබඳ අප කාටත් කළින් 2015 සිට වරින් වර කරුණු වාර්තා කළෙමු. අද විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ අනවසර ඉදිකිරීම් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම ජුනි මස 28 වැනි දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත. විල්පත්තුව විලත්තිකුලම් ප්‍රදේශය එළිපෙහෙළි කර ජනතාව පදිංචි කරවීමට එරෙහිව එම පෙත්සම ගොනු කරනු ලැබුවේ නාගානන්ද කොඩිතුවක්කු හා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න යන මහත්වරුන් විසිනි. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, වන සත්ත්ව සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, ඉඩම් කොමසාරිස්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් ඉන් වගඋත්තරකරුවන් කර තිබේ. අද පෙත්සම විභාගයට ගැනුණේ අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේයි. විල්පත්තු අභයභූමිය ආශ්‍රිත ඉඩම් විවිධ පාර්ශව විසින් මේ වනවිට විශාල වශයෙන් එළිපෙහෙළි කරමින් පවතින බවත්, මෙම තත්ත්වය තවදුරටත් සිදුවීමට ඉඩ හැරියහොත් විල්පත්තු අභයභූමියට දැඩි තර්ජනයක් එල්ල විය හැකි බවත් පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා වෙනුවෙන් කරුණු දැක් වූ නීතිඥයින් පෙන්වා දුන්හ. එම කරුණු සලකා බැලු අභියාචනාධිකරණය පෙත්සම විභාගයට ගැනීමට තීරණය කර තිබේ. විල්පත්තු පිළිබඳව යළි ත් කතාබහ ඇතිවීමට හේතුව කුමක් දැයි අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් මහතා අද පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කළේ ය. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන්,
පුත්තලම අරුවක්කාඩුවල ළඟදී ලොකු ප්‍රෙජක්ට් එකක් එනවා මිලියන 7900 ක් වෙන් කරලා තියෙනවා කියලා ඒකට මං කිව්වා මේක පොඩ්ඩක් සොයා බලන්න. මේක කිලෝමීටර් 170 ක් විතර දුර අරගෙන යනවා. ඒ නිසා ඒ මිනිස්සු ඔක්කොම පාරේ ඉන්නවා දවසකට 200 ක් විතර. මිනිස්සුන්ට හරියට මේක ගැන පැහැදිලි කරලාදීලත් නැහැ ඒ නිසා මිනිස්සු කියන්නේ මේකෙන් ලොකු අසාධරණයක් වෙනවා කියලා. ඒ ප්‍රශ්නය මම සති දෙකක් ඉදිරිපත් කළා. ඒකෙන් පස්සේ ආයේ පටන් ගත්තා විල්පත්තු විනාශය වන විනාශය කරනවා කියලා ආයේ පටන් අරන් තියෙනවා.
මේ අතර පුත්තලම අරුවක්කාඩු ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියට එරෙහිව පැවති විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය පියවර ගත්තේ ය. ජනාධිපතිවරයාගේ පුත්තලම නගර සංචාරය අතරතුර යෝජිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත තිබුණි. නගරයේ පැවති උත්සවය අතරතුර ජනාධිපතිවරයා හමුවීමට යැයි පවසමින් පිරිසක් පැමිණ විරෝධය පළ කරන්නට විය. පසුව පිරිස විසුරුවා හැරීමට පොලීසිය පියවර ගත්තේ ය.