විල්පත්තු විනාශය: ජුනි 28 සිට පෙත්සම විභාගයට ගැනේ

විල්පත්තු වන විනාශයට එරෙහිව ගොනු කළ පෙත්සම විභාගයට දින නියම කෙරේ

by Staff writer 22-03-2019 | 12:54 PM
COLOMBO (News 1st) - විල්පත්තු වන විනාශයට එරෙහිව ගොනු කළ පෙත්සම ජුනි මස 28 වන දා සිට විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද දින නියම කළේ ය. එම අභයභූමියේ විලත්තිකුලම් ප්‍රදේශය එළිපෙහෙලි කර ජනතාව පදිංචි කර වීමට එරෙහිව එම පෙත්සම ගොනු කරනු ලැබුවේ නාගානන්ද කොඩිතුවක්කු හා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න යන මහත්වරුන් ය. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, වන සත්ත්ව සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, ඉඩම් කොමසාරිස්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් ඉන් වගඋත්තරකරුවන් කර තිබේ. අද පෙත්සම විභාගයට ගැනුණේ, අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේ ය. විල්පත්තු අභයභූමිය ආශ්‍රිත ඉඩම් විවිධ පාර්ශව විසින් මේ වන විට විශාල වශයෙන් එළිපෙහෙලි කරමින් පවතින බවත්, මෙම තත්ත්වය තවදුරටත් සිදු වීමට ඉඩ හැරියහොත් විල්පත්තු අභයභූමියට දැඩි තර්ජනයක් එල්ල විය හැකි බවත් පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥයෝ පෙන්වා දුන්හ. එම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළේ ය.