රුහුණු නිල් මහ සටන: තෝමස් ක්‍රීඩකයින්⁣ට අභියෝගයක්

රුහුණු නිල් මහ සටන: සර්වේසස් පිතිකරුවන්ගෙන් ශාන්ත තෝමස් ක්‍රීඩකයින්⁣ට ප්‍රබල අභියෝගයක්

by Staff writer 22-03-2019 | 9:19 PM

COLOMBO (News 1st) - මාතර ශාන්ත සර්වේසස් විද්‍යාලය හා මාතර ශාන්ත තෝමස් විද්‍යාලාන්තර 119 රුහුණු නිල් මහා සටන වාර්ශික ක්‍රිකට් තරගය අද ආරම්භ විය.

තරගය මාතර උයන්වත් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කාසිය වාසිය දිනා ගත් සර්වේසස් විද්‍යාලයීය නායක චරිත් හර්ශන තීරණය කළේ, පළමුව පන්දුවට පහරදීමටයි. ඒ අනුව සිය පළමු ඉනිම සඳහා පිටියට පිවිසි සර්වේසස් විද්‍යාලයීය ක්‍රීඩකයින් සිය පළමු ඉනිම අත්හිටවූවේ පන්දුවාර 79 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 351 ක් රැස් කරගෙන සිටියදීයි. චිරාන් කලිදු ලකුණු 144 ක් රැස් කළ අතර නොදැවී කඩුල්ලේ රැදි සිටි රුසිරු ලක්වින් ලකුණු 128 ක් රැස් කළේ ය. ශශික දුල්ශාන් ලකුණු 45 ක් රැස් කළ අතර සසිදු මනුප්‍රිය ලකුණු 21 යි. පන්දු යැවීමේදී හිරන්ත ලක්ෂාන් හා සචිත්‍ර රශ්මික අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේ ය. අනතුරුව සිය පළමු ඉනිම සඳහා පිටියට පිවිසි මාතර සාන්ත තෝමස් ක්‍රීඩකයින් අද දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවාර 9 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 28 ක්. රුහුණු නිල් මහා සටන ඉතිහාසයේ පවත්වා ඇති වාර්ෂික ක්‍රිකට් තරග 118 අතුරින් තරග 33 ක් ජයග්‍රහණය කිරීමට ශාන්ත තෝමස් විද්‍යාලය සමත්ව තිබේ. සාන්ත සර්වේශස් විද්‍යාලය ජයගෙන ඇති තරග ගණන 27 ක්. තරග 57 ක් ජය පැරදුමකින් තොරව නිමාවට පත් ව ඇත. සාන්ත සර්වේශස් විද්‍යාලය අවසන් වරට ජයග්‍රහණයක් වාර්තා කර ඇත්තේ, නිමල් මුණවීරගේ නායකත්වයෙන් 1971 වසරේදී වන අතර සාන්ත තෝමස් විද්‍යාලය 2007 වසරේදී තාරක දුෂ්‍යන්තගේ නායකත්වයෙන් අවසන් වරට තරගය ජය ගෙන තිබේ. හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරු මඩුල්ල නියෝජනය කරන රුචිර පල්ලියගුරු, කසුන් මධුශංක සහ කසුන් රාජිත යන ජාතික සහ ජාත්‍යන්තර මට්මේ ක්‍රීඩකයන් සාන්ත සර්වේශස් විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩකයින් වේ. ඉන්දික සේරම් හා ප්‍රභාත් නිශ්ශංක යන ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් සාන්ත තෝමස් විද්‍යාලයේ ආදික්‍රිකට් ක්‍රීඩකයින් ය.